තුර්කි ජනපතිගේ පාලක පක්ෂය යළිත් පරදී



තුර්කියේ ඉස්තාන්බුල් නුවර නගරසභා මැතිවරණය යළිත් වරක් පැවැත්වුණු අතර, එයින් ද ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ පාලක පක්ෂය වන යුක්තිය හා සංවර්ධන පක්ෂය පරාජයට පත්විය.

ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය යළිත් වරක් පැවැත්වූයේ පළමු මැතිවරණයේ අක්‍රමිකතා සිදුවුණු බවට චෝදනා එල්ල වීමත්, තුර්කි මැතිවරණ කොමිසම එහි ප්‍රතිඵල අවලංගු කිරීමත් නිසාය.

ඉස්තාන්බුල් නගරසභා මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ තුර්කියේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන රිපබ්ලිකන් ජනතා පක්ෂය සහ එම පක්ෂය නියෝජනය කළ නගරාධිපති අපේක්ෂක එක්රැමේ මොමල්ගල් ය.

පාලක  යුක්තිය හා සංවර්ධනය පක්ෂයෙන් නගරසභා මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයා බිනාලි යිල්ඩි්‍රම් ය. සියයට 99 ක් ඡන්ද ගණන් කළ අවසන් වෙද්දී, එක්රැමේ මොමල්ගල් ඡන්ද 7,75,000 ක් දිනාගෙන සිටියේය. එය සියයට 54 ක ප්‍රතිශතයකි. බිනාලි යිල්ඩි්‍රම් ට හිමි කර ගැනීමට හැකි වූයේ සියයට 45 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

තුර්කියේ නගරසභා මැතිවරණය පැවැත්වූයේ පසුගිය මාර්තු 31 වැනිදාය. එදින තුර්කිය පුරා නගරසභා මැතිවරණ පැවැත්විණි. එයින් ඉස්තාන්බුල් පමණක් නොව, තුර්කියේ අගනුවර වන අන්කාරා ද ජනාධිපති එර්දොවාන්ගේ යුක්තිය හා සංවර්ධනය පක්ෂයට අහිමිවිය. සෙසු නගරසභාවල බලය තහවුරු කර ගැනීමට ජනපතිවරයාගේ පාලක පක්ෂයට හැකිවිය.

දෙවැනි වරට ද ඉස්තාන්බුල් නුවර පාලක යුක්තිය හා සංවර්ධනය පක්ෂයට අහිමි වීම ජනාධිපති එර්දොවාන් සහ ඔහුගේ රජය ලැබූ ප්‍රබල පසුබෑමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.  ඉස්තාන්බුල් තුර්කියේ විශාලතම නගරයයි. එහි ජනගහනය මිලියන 15 කි. එය තුර්කියේ ආර්ථික කේන්ද්‍රස්ථානය ද වෙයි.

ඉස්තාන්බුල්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS