තුර්කි ජනපතිගෙන් සිරියාවට අනතුරු



නැවත වරක් තුර්කි සොල්දාදුවකුට හිරිහැරයක් වුවහොත් තැන නොතැන නොබලා සිරියානු රජයේ හමුදාවලට ප්‍රහාර එල්ල කරන බව තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්දොවාන් පැවැසීය.

අන්කාරා අගනුවර පිහිටි තුර්කි පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා ඒ බව කීවේය.

සිරියාවේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි ඉඩ්ලිබ් පළාත තුර්කියට මායිම් වේ. දේශසීමාවෙන් සිරියානු රජයේ හමුදා පලවා හැරීමට දිගින් දිගටම ක්‍රියා කරන බව තුර්කිය ප්‍රකාශ කරයි. ඊට අමතරව සිරියානු-තුර්කි දේශසීමාවේ පිහිටි තුර්කි නිරීක්ෂණ මුරපොළවල් තවත් ඉදිරියට රැගෙන යන බව ද තුර්කිය කියයි.

‘‘අපි ඒක ඕනෑම විදියකින් කරනවා. තව එක පාරක් හරි තුර්කි සෙබළකුට තුවාලයක් වුණොත් අපි ඕනෑම තැනකදී සිරියානු රජයේ හමුදාවලට ප්‍රහාර එල්ල කරනවා. එය ගුවන් ප්‍රහාරයක් වෙන්නත් පුළුවන්. ගොඩබිම් ප්‍රහාරයක් වෙන්නත් පුළුවන්’’ යැයි තුර්කි ජනාධිපතිවරයා කීවේය.

ඉඩ්ලිබ් පළාතේ වැඩි කොටසක් පාලනය කරන්නේ සිරියාවේ ආණ්ඩු විරෝධී කැරැලිකරැවන්ය. ඉඩ්ලිබ් පළාත කැරැලිකරැවන්ගේ අවසන් බල කඳවුර යැයි ද පැවසේ.

රුසියාව සමඟ 2018 වසරේදී අත්සන් කරන ලද ගිවිසුමට අනුව තුර්කිය සිරියානු ඉඩ්ලිබ් පළාත ආසන්නයේ සිරියානු දේශසීමාවට මායිම්ව නිරීක්ෂණ මුරපොළවල් 12ක් ස්ථාපිත කර ඇත.

රුසියාව සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට සහාය දක්වයි.

මේ මාසයේදී පමණක් ඉඩ්ලිබ් පළාතට එල්ල වූ ප්‍රහාරවලින් තුර්කි සෙබළු 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

සිරියානු සිවිල් යුද්ධය මේ වනවිට 9 වැනි වසරටත් දිග්ගැස්සෙමින් තිබේ. තුර්කි සෙබළුන් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ තුර්කිය ප්‍රහාර එල්ල කළ අතර තුර්කියේ ප්‍රතිචාරයත් සමඟ සිරියානු සිවිල් යුද්ධය උග්‍ර අතට හැරෙනු ඇතැයි පැවසේ.

ඉඩ්ලිබ් පළාතේ සිටින තුර්කි හමුදාවලට පහර දුන්නොත් සිරියානු රජයේ හමුදාවලට ‘දැඩි වන්දියක්’ ගෙවීමට සිදුවනු ඇතැයි තුර්කි ජනාධිපති එර්දොවාන් අඟහරුවාදා පැවැසීය.

සිරියානු රජයේ හමුදාවලින් එල්ල වූ ප්‍රහාර සාර්ථකව ව්‍යර්ථ කළ බවත් සිරියානු රජයේ හමුදාවලින් එල්ල වූ ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර එල්ල කළ බවත් තුර්කිය සඳහන් කළේය. සිරියානු රජයේ හමුදා ඉලක්ක කිහිපයක් විනාශ කළ බව ද තුර්කිය කීවේය.

රුසියාවේද සහාය ඇතිව සිරියානු රජයේ හමුදා පසුගිය සති කිහිපයේදී ඉඩ්ලිබ් පළාතටත් ඇලෙප්පෝ පළාතේ කොටස්වලටත් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළේය. එම ප්‍රහාර නිසා මානුෂීය අර්බුදයක් නිර්මාණය වී තිබෙන අතර 700,000කට වැඩි පිරිසක් සිය නිවාස අත්හැර පලායමින් සිටිති. ප්‍රහාර හේතුවෙන් තවත් සිවිල් වැසියන් සිය ගණනක් මරුමුවට පත්ව ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

ඉඩ්ලිබ් පළාත ආරක්ෂිත කලාපයක් බවට පත් කිරීමට තුර්කිය සහ රුසියාව 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී එකඟතාව පළ කළහ. ඒ අනුව එම පළාතේ අනෙකුත් පාර්ශව කුපිත කරන ආකාරයේ ක්‍රියාකාරකම් සියල්ල සම්පූර්ණයෙන් තහනම් කරන ලදි.

කෙසේ නමුත් සිරියානු රජයේ හමුදා සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශව දිගින් දිගටම සටන් විරාම ගිවිසුමේ කොන්දේසි කඩ කළේය. එම නිසා නැවත, ජනවාරි 12 වැනිදා අලුත් සටන් විරාම ගිවිසුමක් ද ප්‍රකාශයට පත් කරන ලදි. එහෙත් ඒ සියල්ල නොතකා ඉඩ්ලිබ් පළාත තුළ විවිධ පාර්ශව ඉලක්ක කරගනිමින් මාරාන්තික ප්‍රහාර එල්ල විය.

සිරියානු රජයේ හමුදා සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශව එල්ල කළ ප්‍රහාරවලින් තුර්කි සෙබළුන් තුවාල ලැබීම නිසා රුසියාව සහ තුර්කිය සබඳතා ද පළුදු වී තිබේ. සිරියාවේ ඇති වී තිබෙන තත්ත්වය සමථයකට පත් කරගැනීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් බදාදා තුර්කි ජනාධිපතිවරයා සමඟ කතා බහ කළේය.

රුසියාව සහ තුර්කිය අතර තිබෙන ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු යැයි එම කතාබහෙන් පසුව ක්‍රෙම්ලීනය සඳහන් කළේය.

‘‘ජනාධිපතිවරුන් දෙදෙනා අතර කතාබහේදී රුසියාව සහ තුර්කිය අතර දැනට පවතින ගිවිසුම් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සාකච්ඡාවට ලක් කෙරුණා’’ යැයි ක්‍රෙම්ලීනය නිකුත් කළ එම නිවේදනයේ දැක්විණි.

හර්ෂණ තුෂාර සිල්වා
අල්ජසීරා ඇසුරිනි 

RECOMMEND POSTS