තුර්කි ජනපතිගෙන් චෝදනා



ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසිලම පිළිගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කිරීම හෙළා දකිමින්, ඊට විරෝධය පළ කරන තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන් ‘ත්‍රස්තවාදී රාජ්‍යයක්’ යැයි ඊශ්‍රායලය හඳුන්වා දී තිබේ.

තුර්කි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ සිවාස් නුවර පැවැති ජන රැලියක් අමතමිනි.

‘පැහැදිලියි. පලස්තීනය අසරණයි. ඊශ්‍රායලය සැමවිටම ඔවුන්ගේ වාසියට වැඩ කර ගන්නවා. මම වගකීමෙන් කියනවා. ඊශ්‍රායලය ත්‍රස්තවාදී රාජ්‍යයක්. අසරණ දරුවන් කාන්තාවන් ඝාතනය කරන ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසිලම ලෙස මම පිළිගන්නේ නැහැ’ යැයි එර්ඩෙගොන් වැඩි දුරටත් කියා සිටියේය.

ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසිලම ලෙස පිළිගන්නවා යැයි පැවැසීමත් සමඟ පලස්තීනුවන්ගෙන් පමණක් නොව ලොව සෙසු මුස්ලිම් රටවලින් දැඩි විරෝධයක් එල්ල විය.

පලස්තීන විරෝධතාකරුවන් සහ ඊශ්‍රායල ආරක්ෂක අංශ අතර දරුණු ගැටුම් ඇවිලී ගියේය. මේ වනවිට පලස්තීන විරෝධතාකරුවන් සිවු දෙනකු මියගොස් ඇතැයි ද පැවැසෙයි. ගාසා තීරයෙන් රොකට් ප්‍රහාර එල්ල වුණු අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය පලස්තීනුවන්ට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ද පටන් ගෙන ඇතැයි වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS