තුර්කි ජනපති රුසියා ජනපති හමුවෙති



රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතර විශේෂ හමුවක්, රුසියාවේ මොස්කව් නුවරදී පැවැත්විණි. එම හමුව පැවැත්වූයේ උතුරුදිග සිරියාවේ කුර්දිවැසියන් සහ කුර්දි බෙදුම්වාදීන් සම්බන්ධයෙනි.

තුර්කි ජනාධිපති එර්දොවාන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සමීප මිතුදම් පවතී. සිරියාවේ කුර්දිවරුන් මුල්කොට ගනිමින් නිර්මාණය වූ අර්බුදයට පිළියමක් සෙවීමට හමුවෙමු යැයි තුර්කි ජනපතිවරයාට රුසියන් ජනපති පුටින්ගෙන් ඇරැයුම් ලැබ තිබුණි. තුර්කි ජනාධිපති මොස්නව් බලා පැමිණියේ ඒ අනුවය.

තුර්කියේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කුර්දි බෙදුම්වාදීන් සහ එම බෙදුම්වාදීන් නියෝජනය කරන කුර්දි වැසියන්ට ආරක්ෂිත කලාපයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් රුසියානු සහ තුර්කි ජනපති අතරේ එකඟත්වයක් ඇති කර ගැණුනි. රුසියානු පුවත් සේවා වාර්තා කළේ එය ඓතිහාසික තීරණයක් බවය.

කුර්දිවරුන් බෙදුම්වාදී ත්‍රස්ත කණ්ඩායමක් ලෙස තුර්කිය සලකයි. කුර්දිවරුන් වාසය කරන්නේ තුර්කි සිරියා දේශසීමාවේ ඔවුන්ගේ පාලනයට නතු පළාත්වලය. සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදයට එරෙහිව තුර්කිය පමණක් නොව, කුර්දිවරුන් ද සටන් වැදුණි. ඒ, වෙන්වෙන් වශයෙනි. අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට කුර්දිවරුන්ට සහාය දුන්නේ ඇමෙරිකාවය.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, සිරියාවේ උතුරුදිග පළාත්වලින් ඇමෙරිකන් හමුදා ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟ තුර්කිය කුර්දිවරුන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර ඇරැඹුවේය. කුර්දිවරුන් මුල්කොට ගනිමින් සිරියාවේ නව අර්බුදයක් නිර්මාණය වූයේ ඒ අනුවය.
සිරියානු අර්බුදයේ දී සිරියානු ජනාධිපති බෂීර් අල් ආසාද්ට සහාය දක්වන්නේ රුසියාවය. ඊට ප්‍රධාන හේතුව සිරියාවේ රුසියානු හමුදා කඳවුරක් පිහිටීමය.

රුසියා ජනාධිපති පුටින්, තුර්කි ජනාධිපති එර්දොවාන්, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ද හවුල් කර ගනිමින්, සිරියානු තුර්කි දේශසීමාවේ කුර්දිවරුන් දේශසීමාවෙන් ඔබ්බට යොමු කිරීමට එකඟතාවක් ඇති කර ගත්හ. ඒ අනුව තුර්කියේ ස්වෛරීත්වයට බාධාවක් නොවනු ඇතැයි ද පැවැසෙයි. මේ වනවිට ඇමෙරිකා රජයේ මැදිහත් වීමෙන්, තුර්කිය සහ කුර්දි බෙදුම්වාදී සටන්කාමීන් අතරේ සටන් විරාමයක් පවතී. ඒ, දින පහක කාලයක් සඳහාය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS