තානාපති කාර්යාලය විවෘත කිරීම මැයි මාසයේ



ජෙරුසලමේ ඇමෙරිකන් තානාපති කාර්යාලය, ලබන මැයි මාසයේදී විවෘත කිරීමට නියමිත බව, ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඇමෙරිකාව ඔවුන්ගේ තානාපති කාර්යාලය ජෙරුසලමේ විවෘත කරන්නේ ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර බල නිල වශයෙන් පිළිගනිමිනි. ඇමෙරිකාව ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම යනුවෙන් පිළිගැනීම මහත් ආන්දෝලනයකට හේතුවක් විය. ඊට හේතුව පලස්තීනුවන් ද ඔවුන්ගේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනීම නිසාය.

එය ඊශ්‍රායල පලස්තීන සාමයට බාධාවක් බව පවසමින්, පලස්තීන පාලන අධිකාරිය ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය සමඟ සිත් අමනාපකම් ඇති කර ගත්තේය. ඇමෙරිකා ජනපති ගත් තීරණය ලෝකයේ රටවල් රැසකගේ උදහසට ද හේතුවක් විය.

ලබන මැයි මාසයේ ජෙරුසලමේ ඇමෙරිකන් තානාපති කාර්යාලය විවෘත කිරීම සිදුවන්නේ ඊශ්‍රායලය පිහිටුවා අවුරුදු 70 ක් සැමරීම නිමිත්තෙන් යැයි ද ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටී.

එසේ විවෘත කළ ද තානාපති කටයුතු සියල්ල නියමිත පරිදි සිදු කිරීමට තව වසර දෙකක් පමණ ගත වනු ඇති බව ඇමෙරිකා ජනපති ට්‍රම්ප් පවසා තිබුණි. මෙතෙක් කල් ඇමෙරිකා තානාපති කාර්යාලය පිහිටා තිබුණේ ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS