තානාපති කාර්යාලය ජෙරුසලමට



ඇමෙරිකාව අනුගමනය කරමින්, ඊශ‍්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගෙන, ඊශ‍්‍රායලයේ ටෙල් අවීව් නුවර පිහිටි තම තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කිරීම කෙරෙහි අවදානය යොමු වී ඇතැයි  ඕස්ටේ‍්‍රලියා අගමැති ස්කොට් මොරිසන් කියයි.

ජෙරුසලමට ඊශ‍්‍රායලය පමණක් නොව, පලස්තීනය ද අයිතිවාසිකම් කියයි. පලස්තීනුවන් කියන්නේ එය තමන්ගේ අගනුවර කියාය. විදෙස් තානාපති කාර්යාල ඇත්තේ ඊශ‍්‍රායලයේ ටෙල් අවීව් නුවරය.

ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, ජෙරුසලම ඊශ‍්‍රායලයේ අගනුවර ලෙස පිළිගෙන ටෙල් අවීව් හි පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කළේය.

ට‍්‍රම්ප් පරිපාලනය, ඊශ‍්‍රායල රජයට සහ අගමැති බෙන්ජමින් නෙදන්යාහුට සහාය පළ කරමින් ගත් මෙම තීරණය පලස්තීනුවන්ගේ පමණක් නොව, ලොව රටවල් බොහොමයක දැඩි විරෝධයට හේතුවක් විය. ඊශ‍්‍රායලය සහ පලස්තීනය අතර පවතින අර්බුදය තවත් උත්සන්න වීමට ද මෙය හේතුවක් විය.

තම තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කිරීමේ අදහසක් ඇති බව  ඕස්ටේ‍්‍රලියා අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කළේ ඊශ‍්‍රායලය සහ පලස්තීනය අතර දිනේන දින ඔඩුදුවන අර්බුදයට විසඳුම ද්වී රාජ්‍ය සංකල්පය බව තමන් පිළිගන්නා බවත්, එලෙස එම අර්බුදය විසඳීමෙහිලා අවශ්‍ය සියලූම සහාය තමන් දෙපාර්ශ්වයට ලබා දෙන බවත් පවසමිනි.

අනාගතයේ දිනෙක, ඊශ‍්‍රායල පලස්තීන අර්බුදයට විසඳුමක් ලෙස, පලස්තීන පාලන අධිකාරියේ අගනුවර වනු ඇත්තේ නැගෙනහිර ජෙරුසලම බවත්, ඊශ‍්‍රායලයේ අගනුවර බටහිර ජෙරුසලම වනු ඇති බවත්ය.

ජෙරුසලම ඊශ‍්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට සලකා බැලීමට,  ඕස්ටේ‍්‍රලියා අගමැති මොරිසන් ගත් තීරණය ප‍්‍රසංශනීය මෙන්ම නිර්භීත එකක් බවත්, තමන්  ඕස්ටේ‍්‍රලියා අගමැතිවරයාට ඇමැතුමක් දී ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා කළ බවත්, එමගින් ඊශ‍්‍රායලය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර මිතුදම් තවත් ශක්තිමත් වුණු බවත් ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS