ත්‍රස්තයෝ බිරියන් දරුවන් දමා පලා යති



දරුණු අවි ගැටුම්වලින් පසු ඉරාක හමුදා එරට තල් අෆාර් නුවර පහර මුදාගත් අවස්ථාවේදී, අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තයන් ඔවුන්ගේ බිරියන් සහ දරුවන් ද අතහැර පලා ගොස් ඇතැයි ඉරාක රජය කියයි.

ත්‍රස්තයන්ගේ බිරියන් සහ දරුවන් 1,400 කට වැඩි පිරිසක් මේ වනවිට තම අත්අඩංගුවේ පසුවන බව ද ඉරාක රජය වැඩි දුරටත් කියා සිටී. ත්‍රස්තයන්ගේ බිරියන් වුණු තරුණියන්ගෙන් වැඩි දෙනා විදෙස් තරුණියන් බව ද පැවැසෙයි.

රුසියානු, තුර්කි සහ යුරෝපා රටවල මුස්ලිම් තරුණියන් පමණක් නොව, මධ්‍යම ආසියානු රටවල මුස්ලිම් තරුණියෝ ද එම පිරිස අතර වෙති. ඔවුහු ඒ ඒ රටවල ආරක්ෂක අංශ මඟ හැර සිරියාව හරහා ඉරාකයට පැමිණි අය වෙති.

එම විදෙස් තරුණියන් හඬා වැළපෙමින්, ඉරාක රජයෙන් ඉල්ලා ඇත්තේ ඔවුන්ට ආපසු ඔවුන්ගේ මවු රට බලා යන්න අවසර දෙන ලෙසටය. කෙසේ නමුත් ඊට අවසර හිමිවේවි ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉරාක රජය කිසිවක් පවසා නැත.

තල් අෆාර් යනු උතුරුදිග ඉරාකයේ පිහිටා ඇති නගරයකි. එය මුදා ගැනීමට ඉරාක රජයේ හමුදාව සටන් ආරම්භ කළේ පසුගිය අගෝස්තු මාසය මුලදීය. පසුගිය අගෝස්තු 31 වැනිදා ඉරාක අගමැති හයිදර් අල් අබාදී ජාතිය අමතමින් කියා සිටියේ තල් අෆාර් නුවර අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමට හැකිවුණු බවය.

තල් අෆාර් නගරය පමණක් නොව, එම නගරය පිහිටා ඇති නිනේව් පළාත පවා සම්පූර්ණයෙන්ම මුදා ගැනීමට ඉරාක රජයේ හමුදා සමත් වී ඇතැයි වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS