ත්‍රස්තයෝ 30,000 ක්



අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරී ත්‍රස්තවාදීන් පරාජය කිරීමට සමත්වුණැයි ඉරාක රජය නිල වශයෙන් නිවේදනය කර තිබුණ ද, දයේෂ් ත්‍රස්තවාදීන් 30,000 කට ආසන්න පිරිසක් තවමත් ඉරාක සිරියා දේශසීමාවේ ගම්මාන සහ නගර අල්ලාගෙන සිටින බව වාර්තා වේ.

මේ බව අනාවරණය කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. සිරියානු හමුදා ප්‍රහාර හමුවේ පසුබා ගිය දයේෂ් ත්‍රස්තවාදීන් මෙන්ම ඉරාක හමුදා ප්‍රහාර හමුවේ පසුබා ගිය දයේෂ් ත්‍රස්තාවදීන් දේශදීමා අතරේ රැඳී සිටින බවත් ඔවුන් මේ වනවිට උත්සාහ ගන්නේ ලිබියාවට යෑමට බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවරණය කර ඇත්තේ බුද්ධි අංශ වාර්තා පාදක කර ගනිමිනි.

ගඩාෆි මරා දැමීමෙන් පසු ලිබියාව අද අස්ථාවර රාජ්‍යයක් බවට පත් වී ඇති අතර, සන්නද්ධ ඉස්ලාමීය කල්ලි එරට පාලනය කරයි. අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරි ත්‍රස්තවාදීන්ගේ පුහුණු කඳවුරු පවා පිහිටා ඇත්තේ ලිබියාවේය.

ඉරාක හමුදාව එරට ප්‍රධාන නගර සහ පළාත් අයි.එස්. දයේෂ් තක්ෆීරි ත්‍රස්තවාදීන්ගෙන් මුදාගෙන අවසන් යැයි නිවේදනය කළේ මෙම වසර ආරම්භයේදීය. ත්‍රස්තවාදීන් අල්ලා ගෙන තිබූ ප්‍රධාන නගරවලට මේ වනවිට ඉරාක රජයේ හමුදා ආරක්ෂාව ලබා දෙයි. ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ පලාගිය ඉරාක වැසියන් යළි ඔවුන්ගේ නිවාසවලට පැමිණ ඇති බව ද වාර්තා වේ.

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS