තහංචි අදියර 4 කින් ඉවත් කරනවා



කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවන් පැනැවූ තහංචි එලැඹෙන 15 වැනිදා සිට, අදියර හතරක් යටතේ ලිහිල් කිරීමට බලපොරොත්තු වන බව කටාර් බලධාරහු පවසති.

කටාර් රජය වෙනුවෙන් මේ බව නිවේදනය කළේ රජයේ ප්‍රකාශක ලොල්වා රෂීද් අල් කටාර් ය. අදියරෙන් අදියර රට විවෘත කරන්නේ සෞඛ්‍ය උපදෙස් අනුව බවත්, පළමු අදියර යටතේ අත්‍යාවශ්‍ය සේවා ආරම්භ වනු ඇති බවත් ලොල්වා රෂීද් අල් කටාර් පවසා තිබේ. ආරම්භයේ දී පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන ආරම්භ වනු ඇති බවත්, වෛද්‍ය මධ්‍යස්ථානවල කටයුතු සිදුවන්නේ සියයට 40 කිනි.

ව්‍යායාම සඳහා කටාර් වැසියන්ට නිවෙස්වලින් පිටවීමට අවසර ලැබෙන නමුත් අවුරැදු 12 ට අඩු දරැවන්ට නිවෙස්වලින් පිටවීමට ඉඩ නොලැබෙන බව පැවැසෙයි. පළමු අදියර සාර්ථක වුවහොත් දෙවැනි අදියර ආරම්භ වනු ඇත්තේ ජූලි පළමු වැනිදාය. තෙවැනි අදියර අගෝස්තු පළමු වැනිදාත් සිවුවැනි අදියර සැප්තැම්බර් පළමු වැනිදාත් ආරම්භ වනු ඇත.

කටාර් රාජ්‍යයෙන් වාර්තා වුණු ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 70,158 පසු කර තිබේ. පෙරේදා (8) දිනයේ කටාරයෙන් වාර්තා වූ මරණ ගණන 3 කි. ඒ අනුව, කටාර් රාජ්‍යයේ කොරෝනා මරණ ගණන 57 කි.

දේහාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS