තලේබාන් කාර්යාලයට නව ප්‍රධානියෙක්



කටාර් රාජ්‍යයේ පිහිටුවා ඇති ඇෆ්ගන් තලේබාන් සාම කාර්යාලයේ නව ප්‍රධානියා ලෙස තලේබාන් සංවිධානයේ පුරෝගාමී සාමාජික අබ්දුල් ඝහානී බරාදාර් පත් කර ඇතැයි වාර්තා වේ.

ඇෆ්ගනිස්තානයේ තලේබාන් අර්බුදය අවසන් කිරීම සඳහා දේශපාලනික විසඳුමක් සෙවීමට ඇමෙරිකාව සූදානම් වෙයි. ඇමෙරිකන් නියෝජිතයන් සහ තලේබාන් නියෝජිතයන් අතරේ මේ සඳහා සාකච්ඡා පැවැත්වෙන්නේ දෝහා හි පිහිටුවා ඇති මෙම සාම කාර්යාලය හරහාය.

වසර 17 ක් තිස්සේ ඔඩුදුවන ගැටුම් අවසන් කර, සාම සාකච්ඡා සාර්ථක කර ගැනීමට තලේබාන් සංවිධානයට ද අවශ්‍ය වී ඇති අතර, සාම කාර්යාලයේ ප්‍රධානියා ලෙස පුරෝගාමී සාමාජික බරාදාර් එම තනතුරට පත් කර ඇති බව ද පැවැසෙයි. තලේබාන් සංවිධානයේ දේශපාලනික අංශය ක්‍රියාත්මක වන්නේ දෝහි හි පිහිටුවනු ලැබූ මෙම සාම කාර්යාලය හරහාය. මෙම සාම කාර්යාලයේ කටයුතු වෙනුවෙන් කටාර් රාජ්‍යයේ පූර්ණ අනුග්‍රහය හිමිවෙයි.

පසුගියදා ඇමෙරිකන් රජයේ නියෝජිතයන් සහ තලේබාන් සංවිධානය අතර දේශපාලනික වශයෙන් සාම සාකච්ඡා පැවැත්වූයේ මෙම සාම කාර්යාලයේදීය. කෙසේ නමුත් තලේබාන්වරුන්ගේ කොන්දේසිවලට ඇමෙරිකාව එකඟ වූයේ නැත. එහෙයින්, සාම කතා බිඳ වැටුණි. තලේබාන් සංවිධානය තරයේ පවසා ඇත්තේ, ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින තාක්කල් සාම සාකච්ඡා සාර්ථක නොවන බවය.

ඇෆ්ගන් තලේබාන් සංවිධානය පිහිටුවා ගනු ලැබුවේ 1994 දීය. ඊට පුරෝගාමී වූ සාමාජිකයන් සිවු දෙනෙකි. ඔවුන්ගෙන් කෙනකු අබ්දුල් ඝහානී බරාදාර් ය. 1996 වසරේ සිට 2001 වනතුරු ඇෆ්ගනිස්තානයේ පැවැතියේ තලේබාන් පාලනයකි. 2001 දී ඇමෙරිකාවට පහර දුන් අල් කයිඩා නායක ඔසාමා බින් ලාඞ්න්ට ඇෆ්ගන් තලේබාන්වරුන්ගේ රැකවරණ හිමිවිය. ඇමෙරිකා හමුදා, සෙසු නේටෝ සාමාජිකයන් ද සමඟ එක් වී, තලේබාන් පාලනය පෙරළා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ එම අවස්ථාවේදීය.

ඇමෙරිකාව ඇතුළු විදෙස් හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරද්දීසාමාජික අබ්දුල් ඝහානී බරාදාර් පාකිස්තානයට පලා ගියේය. කරච්චි නුවරදී ඇමෙරිකා සී.අයි.ඒ. සහ පාකිස්තාන අයි.එස්.අයි. බුද්ධි අංශ නිලධාරීන් එක් වී,  කළ මෙහෙයුමකදී අබ්දුල් ඝහානී බරාදාර් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ, 2010 දීය.

බරාදාර් පසුව නිදහස ලැබුවේ තලේබාන් සංවිධානය සහ පාකිස්තාන රජය අතර පැවැති සාකච්ඡාවලින් පසුවය. බරාදාර්ට නිදහස දීමට ඇෆ්ගන් රජය පමණක් නොව ඇමෙරිකාව ද කැමැත්ත පළ කළේය. ඒ අනුව, බරාදාර් යළි ඇෆ්ගනිස්තානයේ සිය පවුලේ සාමාජිකයන් වෙත ගියේ යැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS