ඩිරාම් ලක්ෂ පහක දඬුවමක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ  සමාජ ජාල හරහා නීති විරෝධී අන්දමින් මුදල් ඉපැයීම් සිදුකරන්නට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් එකී චෝදනාවට වැරදිකරුවන් වන්නන්ට ඩිරාම් ලක්ෂ පහක දඬුවමක් පැනවීමටත් එරට රජය තීරණය කර ඇත.

යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සමාජ මාධ්‍ය ජාල, අන්තර්ජාලය හෝ වෙනත් නාලිකා ඔස්සේ නීති විරෝධී අයුරින් මුදල් රැස් කිරීම්, එසේම මුදල් පරිත්‍යාග කරන ලෙසත් ඉල්ලා සිටින අවස්ථාවලදී ඊට එරෙහි ක්‍රියාත්මක වීම කළ යුතු බවත් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නව නීති හා දඩ ක්‍රමවේදය දියත් කළ බව එමීරයේ නීතිපති හමාඞ් අල් ශම්සි මහජනතාවට අනතුරු හඟවමින් ප්‍රකාශකර ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි.

එමෙන්ම සයිබර් අපරාධ සම්බන්ධයෙන් විශාල නඩු ප්‍රමාණයක් වසරකට වාර්තා වෙන අතර ඇතැම් නඩු විමර්ශනය කිරීමේදී නීති විරෝධි අයුරින් සිදුවෙන මුදල් මංකොල්ලකෑම් පිළිබඳව අනාවරණය වන බව පෙන්වා දෙන නීතිපති මෙම අවදානම් තත්ත්වයෙන් ජනතාව බේරා ගැනීමේ අරමුණින් සැලසුම් සකස්කළ බව පෙන්වා දී ඇත.

එමෙන්ම සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුවෙන මෙම මුදල් හුවමාරු කිරීම් සමඟ නොදැනුවත්ම ත්‍රස්තවාදී ක්‍රියාවන්ට දායක වීම, මත්ද්‍රව්‍ය ජාවාරම් වලට හසුවීම මෙන්ම මුදල් විනාශවී රැවටීමකට භාජනය වීම වැනි අවදානම් සහගත තත්ත්වයන්ට ගොදුරු වීමේ හැකියාවක් පවතින බවත් පෙන්වා දෙයි.

මේ සියළු කරුණු සලකා බලා සමාජ මාධ්‍ය ජාල හරහා සිදුවෙන වංචාවන්ට එරෙහි නීති රීති දැඩි කරමින් වරදකරුවෙකුට වසර 03ක් දක්වා සිර දඬුවම්, ඩිරාම් 250,000 ට නොඅඩු හා 500,000 නොවැඩි දඩ මුදලක් හෝ එම දඬුවම් දෙකම හිමිවිය හැකි  බව ද එම වාර්තා පෙන්වා දෙයි.

විනීතා එම්. ගමගේ


RECOMMEND POSTS