ටිලර්සන් කටාර් යයි



කටාරය මුල්කොට ගනිමින් ගල්ෆ් කලාපයේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්  කටාර්හි දෝහා නුවර බලා පැමිණියේය.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී කටයුතු කළේය.

කටාර් අර්බුදය සාමකාමී අයුරින් විසඳා ගැනීම කටාරයේ අරමුණ යැයි කටාර් එමීර්වරයා ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාට පැවැසීය.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස්ටිලර්සන්, දෝහා බලා පැමිණියේ සෞදියේ රියාද් නුවරට ගොස්, සෞදි බලධාරීන් හමුවී කටාර් අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.

කටාරය සම්බන්ධයෙන් ගල්ෆ් කලාපීය රටවල් අතර අර්බුදයක් නිර්මාණය වූයේ පසුගිය ජූනි 5 වැනිදා සිටය. ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටත්, අන්තවාදයට උඩගෙඩි දෙන බවටත් සෞදි අරාබිය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටාර් රාජ්‍යයට චෝදනා එල්ල කළේය.

ඉන්පසු කටාර් රාජ්‍යය සමඟ සියලු සබඳතා නැවැත්වීමට සෞදිය ප්‍රමුඛ රටවල් කටයුතු කළේය. ඔවුන් එක් වී, කටාර් රාජ්‍යය මැදපෙරදිග කලාපයේ හුදෙකලා කර ඇති අතර, සම්බාධක පැනැවීම් පවා සිදු කර තිබේ.

පැනැවූ සම්බාධක ඉවත් කිරීමට නම්, සෞදිය ප්‍රමුඛ රටවල් කටාර් රාජ්‍යයට කොන්දේසි ඉදිරිපත් කර තිබේ. එයින් එක් කොන්දේසියක් වන්නේ කටාරය, ෂියා මුස්ලිම් ඉරානය සමඟ පවතින සබඳතා අඩු කළ යුතුයි යන්නය.

සෞදිය ප්‍රමුඛ රටවල් පැනැවූ එම කොන්දේසි තම රටේ ස්වෛරීත්වයට තර්ජනයක් බව කටාර් එමීර්වරයා පවසා ඇත. තම රටේ ස්වෛරීත්වය උල්ලංඝනය නොවන අයුරින් ඉදිරිපත් කෙරෙන ඕනෑම එකඟතාවකට තමන් කැමැති බව කටාරය පවසා තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS