ටියුනීසියා රජය නිකාබය තහනම් කරයි



ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමින්, ‘නිකාබය’ තහනම් කිරීමට ටියුනීසියානු අගමැති යුසෙෆ් චහෙඞ් තීරණය කර ඇත.

ටියුනීසියාව උතුරු අප්‍රිකාවට අයත් රාජ්‍යයක් වන අතර, අයි.එස්.අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් ටියුනීසියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරයි. පසුගිය කාලයේ ටියුනීසියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කිහිපයක් සිදුවිය.

පසුගිය ජූනි 27 වැනිදා ටියුනිස් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් කිහිපයක් සිදුවිය. එයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 7 කි.

එම ප්‍රහාරයට පැමිණී මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් එක් බෝම්බකරුවකු නිකාබ් ඇඳුමින් සැරැසි සිට බව මේ වනවිට පරීක්ෂණවලින්  අනාවරණය වී ඇත. සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන නිකාබ් තහනම් කිරීමට අගමැති යුසෙෆ් චහෙඞ් විශේෂ නියෝගයක් නිකුත් කළේ ඒ අනුවය.

ප්‍රසිද්ධියේ නිකාබ් ඇඳුමින් සැරැසී සිටියොත් එම කාන්තාවන් වහා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී ඇතැයි ද වාර්තා වේ.

2011 දී ඇමෙරිකාව විසින් ‘අරාබි වසන්තය’ යනුවෙන් හැඳින්වූ ජනතා විරෝධතා ආරම්භ වූයේ ටියුනීසියාවෙනි. ජනතා විරෝධය මැද දීර්ඝ කාලයක් ජනාධිපති ලෙස කටයුතු කළ සීනේ එල් අබිදීන් බෙන් අලී ධුරයෙන් ඉවත් විය.

බෙන් අලී පමණක් නොව, ටියුනීසියාවේ ජනපති ධුරය හෙබවූ හබීබ් බොර්ගුබියා, මුසිල්ම් කතුන්ට නිකාබය හෝ  හිජාබය හෝ පළඳින්න ඉඩ දුන්නේ නැත. එම මුස්ලිම් ඇඳුම් ටියුනීසියාවේ තහනම් කර තිබුණි. කෙසේ නමුත් 2011 ජනතා විරෝධතා මැද සිදුවුණු දේශපාලන පෙරැළියෙන් පසු ටියුනීසියාවේ මුස්ලිම් අන්තවාදය හිස ඔසවන්න වූ බව පැවැසෙයි. අද අයි.එස්. ත්‍රස්තවාදීන්ට ටිවුනීසියාව පහසු ඉලක්කයක් වී ඇතිබව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ටියුනිස්හිදීය (රොයාටර්ස්)

 


RECOMMEND POSTS