ට්‍රම්ප්ගෙන් ඊජිප්තු ජනපතිට ඇරැයුමක්



ඊජිප්තු ජනපති අබ්දුල් ෆාටා අල් සීසී ධවල මන්දිරයට ආරාධනා කරන බවත් ඊජිප්තුව සමඟ මිතුදම් ශක්තිමත් කර ගන්නා බවත් ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

2013 වසරේ ඊජිප්තුවේ හමුදාපති ධුරය දැරුවේ අල් සීසීය. ඔහු හමුදා කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගත්තේය. ඉන්පසු ඊජිප්තුවේ ජනපතිවරණයක් පැවැත්වුණු අතර, එයින් ඔහු බලයට පත් වූයේ හමුදා ධුරයෙන් විශ්‍රාම ගොස් සිවිල් වැසියකු ලෙසිනි.

ඊජිප්තුවේ මානව හිමිකම් කඩවීම් සිදුවුණු බව පෙන්වා දෙමින්, අල් සීසී ඒවාට වරදකරු කරමින්, ට්‍රම්ප්ට පෙර ජනපති ධුරය හෙබවූ බැරැක් ඔබාමා, අල් සීසී ධවල මන්දිරයට කැඳවීම ප්‍රතික්ෂේප කර තිබුණි. ඇමෙරිකාව ඊජිප්තුවට ලබා දුන් හමුදා ආධාර සහ හමුදා සහාය ද නවතා දැමීමට ඔබාමා පරිපාලනය පියවර ගත්තේය.

පසුගිය සැප්තැම්බරයේ ට්‍රම්ප් සහ අල් සීසී අතර හමුවක් පැවැත්වුණු අතර එහිදී ට්‍රම්ප් කියා සිටියේ අල් සීසී ‘හිත හොඳ හාදයෙක්’ කියාය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS