ට්‍රම්ප්ගෙන් ඉරානයට දිගට හරහට සම්බාධක



පරමාණුක අවි නිර්මාණය වැළැක්වීමේ අරමුණින් ඉරානයට එරෙහිව තවත් සම්බාධක පැනැවීමට කටයුතු කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.

ඉරානයට එරෙහිව තවත් සම්බාධක පැනවීමට ජනාධිපති ට්‍රම්ප් සූදානම් වන්නේ, ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ඉදිරියට ගෙන යන බව නිවේදනය කළ නිසාය.

මේ වනවිටත් ඇමෙරිකා ජනපති ට්‍රම්ප් මැදිහත් වී, ඉරානයට වෙළෙඳ සහ ආර්ථික සම්බාධක පනවා ඇත. මේ හේතුව නිසා ඉරානයට යළිත් වරක් ඔවුන්ගේ තෙල් අපනයන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

ඉරාන විප්ලවීය හමුදාව ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත. ඇමෙරිකාව විදෙස් හමුදාවක් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළ පළමු අවස්ථාව මෙයයි. මෙම නව සම්බාධක මුල්කොට ගනිමින්, ඇමෙරිකාවත් ඉරානයත් අතර පවතින අර්බුදය තවත් උත්සන්න වනු ඇති බවටත්, ඇමෙරිකාවත් ඉරානයත් අතර පවතින යුද උණුසුම තවත් ඉහළ යනු ඇති බවටත් බිය පළ කෙරේ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත්තේ ඇමෙරිකාව සහ ඉරානය අතර යුද්ධයක් නිර්මාණය වුවහොත්, එය සමස්ත ලෝකයටම විශාල බලපෑමක් එල්ල කරනු ඇති බවය. ඇමෙරිකාවත් ඉරානයත් තරයේ කියා ඇත්තේ කිසිම අවස්ථාවක එකිනෙකාට එරෙහිව යුද්ධයකට නොයන බවය. කෙසේ නමුත්, ඇමෙරිකන් ජනපතිවරයා අමතර ඇමෙරිකන් සොල්දාදුවන් දහසක බලඇණියක් මැදපෙරදිග කලාපයට යවා ඇත. ඒ, ඉරානයෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමටය.

ඉකුත් සතියේ ඉරාන ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වුණු ඇමෙරිකන් ඔත්තු නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් ඉරානය පහර දී බිම හෙළීය. මෙම සිද්ධිය මුල්කොට ගනිමින්, ඉකුත් 21 වැනිදා ඇමෙරිකානු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ උපදෙස් මත ඉරානයේ හඳුනාගත් ස්ථාන කීපයකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ජනපති ට්‍රම්ප් තීරණය කළේය.

කෙසේ නමුත් මිනිත්තු 10 කට පසු ට්‍රම්ප් එම තීරණය වෙනස් කළේය. ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ, තමන් එම ගුවන් ප්‍රහාරය එල්ල කළේ නම්, අහිංසක සිවිල් ජීවිත රැසක් අහිමිවීමට ඉඩ තිබුණු බවය.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, 2015 දී ලෝකයේ ප්‍රබල රටවල් සහ ඉරානය අතර පොදු එකඟතාවක් ඇති කර ගැණින. ඒ වනවිට ඇමෙරිකාවේ ජනපති ලෙස කටයුතු කළේ බැරැක් ඔබාමාය. එම එකඟතාවට අනුව, ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සීමා කළේය. ඒ අනුව, ඇමෙරිකන් සම්බාධක ඉවත් කෙරුණු අතර, ඉරානයට බාධාවකින් තොරව ඔවුන්ගේ තෙල් විකිණීමේ කටයුතු සිදු කළ හැකි විය.
ඇමෙරිකා ජනපති ට්‍රම්ප් එම එකඟතාවයෙන් ඇමෙරිකාව ඉවත් කර ගත්තේ එම එකඟතාව නීති විරෝධීබව පවසමිනි. සෙසු රටවල් එම එකඟතාවට ගරු කරමින් ඉරානය සමඟ තවමත් එක් වී සිටී. ජනපති ට්‍රම්ප් මැදිහත්වී ඉරානයට පනවා ඇත්තේ 2015 ට පෙර, ඉරානයට ඇමෙරිකාව පනවා තිබුණු සම්බාධකය. දැන් යළිත් වරක් නව සම්බාධක පැනැවීම හරහා ඇමෙරිකාවත් ඉරානයත් අතර පවතින අර්බුදය තවත් උත්සන්න වනු ඇති බවත්, එය මුළු ලොවටම බලපෑමක් කරනු ඇති බවත් ජගත් දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.

දිගින් දිගටම ඉරානයට තර්ජනය කරන අතරතුරේ. ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් ඉරානයට බලපෑම් කරන්නේ, ඇමෙරිකාව සමඟ සාකච්ඡා පවත්වා පවතින අර්බුදයට විසඳුමක් සොයන්න ඉදිරිපත් වන ලෙසටය.

නව න්‍යෂ්ටික එකඟතාවක් ඇති කර ගැනීමට තමන් සමඟ එක්වන්නැයි ද ට්‍රම්ප් ඉරානයට දන්වා ඇත. ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමේ අදහස අත්හරින්නේ නම්, ඉරානය තම හොඳම මිතුරා බවට පත් වනු ඇති බවත්, ඉරානය ධනවත් රාජ්‍යයක් බවට පත් වනු ඇති බවත් ට්‍රම්ප් පැහැදිලි කර තිබේ.

ඉරානයට න්‍යෂ්ටික අවි නිපදවන්න කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමේ අදහස අතහැරලා, මං සමඟ එකතු වුණොත් ඉරානය මගේ හොඳ මිතුරෙක් වේවි. ඉරානය ධනවත් රටක් බවට පත් වේවි. මම ඉරානයේ හොඳම මිතුරා වෙනවා. ඉරානය යළි ශ්‍රේෂ්ඨ රටක් බවට පත් වේවි. එහෙම වෙනවා දකින්නයි මට ඕනෑ’ යැයි ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS