ට්‍රම්ප් යළි සවුදි රජු අමතයි



කටාරය සමඟ පවතින අර්බුදය කඩිනමින් විසඳා ගැනීමට කටයුතු කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් සවුදි රජුට දන්වා ඇතැයි වාර්තා වේ.

ධවල මන්දිරය නිවේදනය කළේ ඇමෙරිකා ජනපතිවරයා සවුදියට පමණක් නොව, කටාර් අර්බුදයට සම්බන්ධ සෙසු ගල්ෆ් රටවලට ද අර්බුදය කඩිනමින් විසඳා ගන්නැයි පවසා ඇති බවය.

කටාර් අර්බුදයේ දී, කටාරය සමඟ සියලු සබඳතා නැවැත් වූ සෙසු රටවල් වන්නේ ඊජිප්තුව, බහරේනය සහ එක්සත් අරාබි එමීරයයි. ඒ පසුගිය ජූනි 5 වැනිදා සිටය.

කටාරය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වනවා යැයි සවුදිය චෝදනා කර ඇත.

කටාර් අර්බුදය සම්බන්ධයෙන් සවුදියේ සල්මාන් රජු සමඟ ජනාධිපති ට්‍රම්ප් සාකච්ඡා පවත්වා ඇත්තේ දුරකතනයෙනි.

ගල්ෆ් කලාපය ශක්තිමත් කිරීමට නම් ගල්ෆ් රටවල් අතරේ සමඟියක් තිබිය යුතුයැයි ජනපති ට්‍රම්ප් පැහැදිලි කර ඇතැයි ද ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS