ට්‍රම්ප් යළි ජනපති වුණොත් අපට දෙවියන්ගේ පිහිටයි



එලැඹෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් යළි ජනපති ධුරයට පත්වුවහොත් පලස්තීන වැසියන්ට දෙවියන්ගේම පිහිටයි යැයි පලස්තීන අග්‍රාමාත්‍ය මෙහෙමද් ෂ්ටෙයියා පවසයි.

ඊශ්‍රායල පලස්තින මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන්, ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් තීන්දු තීරණ ගන්නේ ඊශ්‍රායලයට වාසි වන අයුරින්ය. ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ට්‍රම්ප් විසින් පිළිගනු ලැබුවේ මුළු ලොවට ට්‍රම්ප්ගේ එම තීරණයට එරෙහි වෙද්දීය.

මේ වනවිට ඇමෙරිකා ජනපති ට්‍රම්ප් මැදිහත් වී, අරාබි රටවල් වන බහරේනය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඊශ්‍රායලය සමග මිතුර කර තිබේ. සෞදිය ද ඊශ්‍රායලයේ පැත්තට නම්මා ගැනීමට ට්‍රම්ප් උත්සාහ ගනිමින් සිටී. ඒ, මැදපෙරදිග කලාපය වෙනුවෙන් පත් කළ විශේෂ නියෝජිත කණ්ඩායම හරහාය. මෙම නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙන්නේ ට්‍රම්ප්ගේ බෑණා මෙන්ම උපදේශකයකු ද වන ජෙරාඩ් කුෂ්නර්ය.

ජනපති ට්‍රම්ප් උත්සාහ ගන්නේ ද්වී රාජ්‍ය විසදුමක් වෙනුවට බලහත්කාරයෙන් ඊශ්‍රායල පලස්තින මැදපෙරදිග අර්බුදයට විසදුමක් ලබා දීමටය. එව සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ අරාබි මුස්ලිම් රටවල ද සහාය ඇතිවය.

'ට්‍රම්ප් තවත් වසර 4 කට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වුවහොත්, අපට දෙවියන්ගේ පිහිට තමයි. ට්‍රම්ප් ඔහු විසින් සකස් කළ සාම සැලැස්ම බලහත්කාරයෙන් අපට ඉදිරිපත් කරාවි. බලෙන් අප කැමැති කරවා ගන්න උත්සාහ ගනීවි. එසේ නොකළොත්, පලස්තීනුවන්ට කෙණෙහිලිකම් කරාවි. දැනටමත් අප ඇමෙරිකාවට විරුද්ධ වන නිසා අපට ලැබෙන ආධාර නවත්වලා.' යැයි පලස්තීන අග්‍රාමාත්‍ය මෙහෙමද් ෂ්ටෙයියා පැහැදිලි කර තිබේ. ඒ, වීඩියෝ පණිවුඩ හුවමාරු සේවා ඔස්සේ යුරෝපා පාර්ලිමේන්තුව අමතමින්ය.

රාමල්ලාහ් (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS