ට්‍රම්ප් මෙලානියා ඉරාකයේ



පෙර දැනුම්දීමකින් තොරව, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලානියා ඉරාකයට පැමිණ, ඉරාකයේ රඳවා සිටින ඇමෙරිකන් සොල්දාදුවන් හමුවී, ඔවුන්ගේ සුවදුක් විමසා බැලූහ.

ට්‍රම්ප් සහ මෙලානියා රැගත් එයාර් ෆෝස් වන් නිල ගුවන් යානය ගොඩබෑවේ බැග්ඩෑඞ් නුවර අල් අසාද් ගුවන් කඳවුරුටය. ට්‍රම්ප් සහ මෙලානියා කඳවුරේ ආපන ශාලාවේදී සොල්දාදුවන් හමුවී ඔවුන් සමඟ සුහදශීලී ලෙස කතාබහේ නියැලුණේය.

ට්‍රම්ප් සහ මෙලානියා මේ අයුරින් මෙම කලාපයේ සංචාරයකට පැමිණි පළමු අවස්ථාව මෙයයි. සොල්දාදුවන් සමඟ සෙල්ෆි ඡායාරූපවලට පෙනී සිටීමට ද ට්‍රම්ප් සහ මෙලිනියා අමතක නොකළාහ.

මේ වනවිට ඉරාකයේ ඇමෙරිකන් සොල්දාදුවන් 5,000 ක ප්‍රමාණයක් රැඳී සිටින අතර, ඔවුන් කඩිනමින් ආපසු ගෙන්වා ගන්නා බව ජනාධිපි ට්‍රම්ප් සතියකට පෙර පවසා තිබුණි.

ඇමෙරිකන් හමුදා, ඉරාකයේ රැඳී සිටින්නේ අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරමිනි. අයි.එස්. ත්‍රස්තවාදීන් පසුබෑමට ලක් වී ඇති හෙයින් ඇමෙරිකන් සොල්දාදුවන් ගෙන්වා ගන්නා බව ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

ඉරාකයට පැමිණි අවස්ථාවේදී, ට්‍රම්ප් සහ ඉරාක අගමැති අදෙල් අබ්දුල් මහාදී අතරේ හමුවක් සැලැසුම් කර තිබුණ ද පසුව එම හමුව අවලංගු කෙරුණු බව ඇමෙරිකන් පුවත් සේවා නිවේදනය කර ඇත.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS