ජෝර්දාන-කටාර් සබඳතා අලුත් වෙයි



පළුදු වූ ජෝර්දාන කටාර් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ශක්තිමත් වී ඇතැයි මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.

ජෝර්දානයත් කටාරයත් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අර්බුදයට ලක්වූයේ මීට වසර 3 කට පෙර, 2017 දී කටාර් රාජ්‍යය සෞදියේ ‘උදහසට’ ලක්වුණු අවස්ථාවේ සිටය.

ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටත්, අන්තවාදයට උඩගෙඩි දෙන බවටත් චෝදනා කරමින්, කටාර් රාජ්‍යය සෞදිය කටාරයට සම්බාධක පනවා කටාරය හුදෙකලා කළේය.

සෞදිය මෙසේ කටාර් රාජ්‍යයට සම්බාධක පැනැවීමක් කළේ ඊජිප්තුව, බහරේනය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය හවුල් කර ගනිමිනි.

කටාර් රාජ්‍යය සමඟ පවතින සබඳතා අත්හරින්නැයි සෞදිය ජෝර්දානයට බලපෑම් කළේය. ඒ අනුව, කටාර් රාජ්‍යය සහ ජෝර්දානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අර්බුදයට ලක් විය.  සෞදිය හෝ කටාර් රාජ්‍යය හෝ අමනාප කර ගැනීමට ජෝර්දානය අකමැති විය.

සෞදිය ප්‍රමුඛ රටවල් කටාරයට සම්බාධක පනවා කටාරය හුදෙකලා කරමින්, කටාරය සමඟ සබඳතා අත්හිටුවන්නැයි ජෝර්දානයට බල කරද්දී, කටාරය ජෝර්දානයට ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක ආධාර මුදල් පැකේජයක් දුන්නේය. ඊට අමතරව ජෝර්දාන වැසියන් 10,000 කට කටාරයේ රැකියා ලබා දීමට ද කටයුතු කළේය.

කටාර් රාජ්‍යය සහ ජෝර්දානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ශක්තිමත් වූයේ කටාරය ජෝර්දානය වෙනුවෙන් නව තානාපති නිලධාරියා ලෙස ෂෙයික් සෞද් බින් නසාර් අල් තානී පත් කිරීමට පියවර ගැනීමත් සමඟය. ෂෙයික් සෞද් බින් නසාර් අල් තානී යනු කටාර් රජ පවුලේ සාමාජිකයෙකි.

ජෝර්දානය කටාරයේ නව ජෝර්දාන තානාපති නිලධාරියා ලෙස සයිඞ් අල් ලොයිසි පත් කර ඇත. සයිඞ් අල් ලොයිසි, බොහෝ දෙනාගේ පැසැසුමට ලක් වුණු ජෝර්දානයේ කැපී පෙනෙන දේශපාලනඥයෙකි.

අම්මාන්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS