ජෝර්දාන අගමැති ඉල්ලා අස්වෙයි



රජයේ බදු පනතට එරෙහිව දින ගණනාවක් තිස්සේ පැවැති විරෝධතා හේතුවෙන්, ජෝර්දාන අගමැති හනි මුල්කි සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

තමා මෙසේ බදු පැනැවීමට පියවර ගත්තේ, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට බවත්, බදු පැනැවීම කළේ අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව බවත් ධුරයෙන් ඉවත් වෙමින් අගමැති හනි මුල්කි මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
නව බදු පනතට විරෝධය පාමින්, ජෝර්දානයේ පසුගිය දින කිහිපය පුරාවට ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්විණි.

විරෝධතාකරුවන් උසි ගැන්වූයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් බවට චෝදනා එල්ල විය. විරෝධතාකරුවන් විසුරුවා හැරීම සිදු කළේ කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර එල්ල කරමිනි. එම විරෝධතා පැවැත් වූයේ අම්මාන් අගනුවර කැබිනට් මණ්ඩල කාර්යාලයට ආසන්නයේය.

ජෝර්දානයේ අබ්දුල්ලා රජු සියලු පාර්ශවවලින් ඉල්ලීමක් කර තිබුණත් විරෝධය දක්වන පාර්ශව ඊට යහපත් ප්‍රතිචාර නොදැක්වීය. ජෝර්දාන වැසියන් චෝදනා කරන්න වූයේ මෙම නව බදු පනත හරහා පීඩාවට පත් වන්නේ දිළිඳු සහ මධ්‍යම පාන්තික ජනතාව කියාය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS