ජෙරුසලමට මාරු කරන්නේ නෑ



ඊශ්‍රායලයේ පිහිටි තම තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු නොකරන බව ජපාන අගමැති ෂෙන්සෝ අබේ කියයි.
ජපාන අගමැති ෂෙන්සෝ අබේ මෙසේ කියා සිටියේ පලස්තීන පාලනය යටතේ පවතින බටහිර ඉවුරේ රාමල්ලා නුවරදී පලස්තීන නායක මොහොමද් අබ්බාස් හමුවෙමිනි.

පලස්තීනුවන්ට අසාධාරණයක් සිදුවන බව ජපානයේ විශ්වාසය බවත්, ඊශ්‍රායලයේ ටෙල් අවීව් ඇති තම තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කරමින්, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර බවට පත් කිරීමේ අදහසක් ජපානයට නැති බව අගමැති අබේ, පලස්තීන නායක අබ්බාස් හමුවී වැඩි දුරටත් කියා සිටියේය.

ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම යැයි තහවුරු කරමින්, එරට ටෙල් අවීව් නුවර පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලය ජෙරුසලටම මාරු කිරීමට ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් පියවර ගෙන ඇත. මෙය බොහෝ රටවල දැඩි විරෝධයට හේතුවක් වී තිබේ.

ඇමෙරිකාවට සහාය පල කිරීමක් ලෙස තවත් රටවල් කීපයක් ඔවුන්ගේ තානාපති කාර්යාල ජෙරුසලමට මාරු කිරීමට ද පියවර ගත්තේය. ඇමෙරිකාවේ ක්‍රියා කලාපය මුල්කොට ගනිමින් පලස්තීන පාලන අධිකාරිය සහ ඇමෙරිකාව අතරේ අර්බුද පවතී.

මැදපෙරදිග සාමය වෙනුවෙන් ඇමෙරිකාව මැදහත්කරුවකු වීම තමන් ප්‍රතික්ෂේප කරන බව පලස්තීන පාලන අධිකාරිය පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS