ජනපති අසාද් මරන්න ඕනෑ: ඊශ්‍රායල ඇමැතිවරයෙක් කියයි



සිරියානු අර්බුදය විසඳීමට නම්, බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන එරට ජනාධිපති බෂීර් අල් අසාද් ඝාතනය කළ යුතු යැයි ඊශ්‍රායල ඇමැතිවරයෙක් පවසා ඇත.

මෙසේ පවසා ඇත්තේ ඊශ්‍රායල නිවාස ඉදිකිරීම් කටයුතු සම්බන්ධ ඇමැති යෝව් ගැලන්ට්ය.

ඔහු මේ බව කියා සිටියේ ජෙරුසිලමේ පැවැති මාධ්‍ය හමුවකදීය. අසාද් ඝාතනය කළොත්, එය ඔහුට සහ ඔහුගේ ෂියා මුස්ලිම් රජයට සහාය පළ කරන ඉරානයට ද අතුල් පහරක් වනු ඇතැයි ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

ඉරානය සහ ඊශ්‍රායලය අතර මත ගැටුම් පවතී. ඊශ්‍රායලයට ඇමෙරිකාවේ සහාය ලැබීම ඊට එක් ප්‍රධාන හේතුවකි.

මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් පැවැත්වෙන සිරියානු සාම කතා පසුගිය දා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වුණු නමුත් පොදු එකඟතාවකින් තොරව එය අවසන් වුණැයි මාධ්‍ය වාර්තා කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් සාම කතා පැවැත්වූයේ 6 වැනි වරටය. සිරියාවේ අර්බුදය අවසන් කරමින්, දේශපාලනමය විසඳුමක් ලබා දීම මෙම සාම සමුළුවේ ප්‍රධාන අරමුණ වී ඇති නමුත් එම අරමුණ කරා යෑම අසීරු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී, අලුත් සිරියාවක් යන තේමාව යටතේ සිරියාවට නව ව්‍යවස්ථාවක් පවා හඳුන්වා දීමට කටයුතු කර ඇත. ඊට සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේ විරෝධය එල්ල විය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS