ජනපති - කටාර් අගමැති හමුවෙයි



කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ කටාර් අග්‍රාමාත්‍ය අබ්දුල්ලා බීන් නසර් කලීෆා අන් තානී මහතා අතර නිල හමුව අද (26) පෙරවරුවේ සිදු විය.

ජනාධිපතිතුමා නවාතැන්ගෙන සිටින දෝහා නගරයේ හෝටලය වෙත පැමිණ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමා හමුවීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මෙම සංචාරය කටාර් රාජ්‍යයට ඉමහත් ගෞරවයක් බව පැවසූ කටාර් අග්‍රාමාත්‍යවරයා දෙරට අතර සහයෝගය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එය විශාල ශක්තියක් වනු ඇති බව ද සඳහන් කළේය.

කටාර් - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියේදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත්ව පත්වාගෙන යාම පිළිබඳ නායකයෝ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

විදුලි බල, බලශක්ති ක්ෂේත්‍රවල ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව  ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.
ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබඳ මෙන්ම කටාර්හි විවිධ ක්ෂේත්‍රවල වෘත්තීන්හි නිරතව සිටින ශ්‍රී ලාංකිකයින්ට ලබාදෙන සහයෝගය පිළිබඳව ද  ජනාධිපතිතුමා කටාර් අග්‍රාමාත්‍යවරයා වෙත සිය විශේෂ ස්තූතිය පිරිනැමීය.

මෙම සංචාරය තුළදී අත්සන් තැබෙන නව අවබෝධතා ගිවිසුම් තුළින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ මෙන්ම තාක්ෂණික දැනුමට අදාළ සහයෝගීතාවයන් තවදුරටත් වර්ධනය වනු ඇති බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

නවීන තාක්ෂණය සමග අද මු`ථ ලෝකයම එකට එක්වී සිටින අතර, ලෝකයේ සියලු රටවල් අතර සහයෝගිතාවය වැඩිකර ගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන  ලෙස  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී කටාර් අග්‍රාමාත්‍යවරයා වෙත ආරාධනා කළ අතර, එම ආරාධනයත් සමග ශ්‍රි ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා එය ද දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මනා පිටුවහලක් වනු ඇති බව සඳහන් කළේය.

ජනාධිපති මාධ්‍ය අංශය

 


RECOMMEND POSTS