ජගත් මහ ලේකම්-තුර්කි ජනපති යුක්රේනයේ



ජගත් මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ යුක්රේන ජනාපධිති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතර හමුවක් යුක්රේනයේ කීව් අගනුවරදී පැවැත්විණි.

යුක්රේනයේ සැපොරිස්සියා න්‍යෂ්ටික බලාගාරය සම්බන්ධයෙන් මෙම හමුවේ දී වැඩි අවධානය යොමු විය. සැපොරිස්සියා න්‍යෂ්ටික බලාගාරය රුසියන් හමුදා විසින් අත්පත් කරගනු ලැබ සිටින අතර, ඔවුන් එහි හමුදා කඳවුරක් පිහිටුවාගෙන ඇත. රුසියන් හමුදා මෙම කඳවුරේ සිට යුක්රේන හමුදා ඉලක්ක කර ගනිමින් පහර දෙයි. යුක්රේන හමුදා ද ප්‍රතිප්‍රහාර එල්ල කරන බව පැවැසෙයි.

යම් හෙයකින් බලාගාරයට හානි සිදුවී න්‍යෂ්ටික කාන්දුවක් සිදුවුවහොත් එය තවත් ‘චර්නෝබිල්’ ව්‍යසනයක් වනු ඇතැයි ජගත් මහ ලේකම්වරයා බිය පළ කර තිබේ. මේ වනවිටත් ගැටුම් හේතුවෙන් බලගාගාරයට සැලකිය යුතු හානියක් සිදුවී ඇති බව ද පැවැසෙයි.
තුර්කි ජනාධිපතිවරයා යුක්රේන අර්බුදයට මැදිහත් වී සිටින්නේ ඊට සාමකාමී විසඳුමක් සොයා දීමේ අරමුණ ඇතිවය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ඊට හිමිවෙයි. තුර්කිය ‘නේටෝ’ සාමාජිකයකු වන අතර, රුසියාව සමඟ යහපත් සබඳතා පවත්වන එකම ‘නේටෝ’ සාමාජිකයා වන්නේ ද තුර්කියයි.

මේ වනවිට යුක්රේනයේ ධාන්‍ය නැව් මගින් ලොව වෙනත් රටවලට බෙදා හැරීම සිදුවෙයි. රුසියාව සමඟ ද සාකච්ඡා පවත්වා, යුක්රේන නැව්වලට යුක්රේන වරායවලින් පිටවීමට ඉඩ සලසා දුන්නේ ද තුර්කි ජනාධිපති සහ ජගත් මහ ලේකම්වරයා මැදිහත් වෙමිනි.
කෙසේ නමුත් යුක්රේන රුසියානු අර්බුදය තව තවත් දිග් ගැස්සුනොත්, ගෝලීය ආහාර අර්බුදයක් තෙක් එය දුරදිග යනු ඇතැයි බියක් පවතී. යුක්රේනයට අයත් වරාය සියල්ල ඇත්තේ රුසියන් හමුදා ග්‍රහණයේය.

(රොයිටර්)


RECOMMEND POSTS