ජගත් මහ ලේකම් කනස්සල්ලෙන්



ජෙරුසිලම පැරැණි නගරයේ අල් අක්සා මුස්ලිම් පල්ලිය සම්බන්ධයෙන් හටගත් ඊශ්‍රායල පලස්තීන ගැටුම් සම්බන්ධයෙන් තමා දැඩි කනස්සල්ලට පත් වී සිටින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් පවසයි.

දිනෙන් දින උත්සන්න වන ප්‍රචණ්ඩ ක්‍රියා වහා නැවැත්වීමට දෙපාර්ශ්වයම කටයුතු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඊශ්‍රායල රජයටත් පලස්තීන පාලන අධිකාරියටත් දැනුම් දී ඇත.

වසර ගණනාවකට පසු, ඊශ්‍රායල පලස්තීන ගැටුම් නිර්මාණය වූයේ අල් අක්සා මුස්ලිම් පල්ලියේ ආරක්ෂාව වැඩි කිරීමට ඊශ්‍රායල රජය ගත් තීරණය මුල්කොට ගනිමිනි. අල් අස්කා මුස්ලිම් පල්ලිය යනු ඉස්ලාම් දහමේ තෙවැනියට වැදගත්ම පූජනීය ස්ථානයයි.

පසුගිය ජූලි 14 වැනිදා, ඊශ්‍රායල රජය, මෙම මුස්ලිම් පල්ලිය ආශ්‍රිත කලාපය වසා දමමින්, ආරක්ෂාව වෙනුවෙන් ‘මෙටල් ඩිඩෙක්ටර්ස්’ (ලෝහ හඳුනා ගැනීමේ) සෙවුම් උපකරණ සවි කිරීමට කටයුතු කළේය.

පලස්තීනුවන් සහ ඊශ්‍රායල ආරක්ෂක අංශ අතරේ ගැටුම් නිර්මාණය වූයේ ඒ අනුවය. ඊශ්‍රායල රජය පසුගිය 25 වැනිදා කියා සිටියේ, අල් අස්කා මුස්ලිම් පල්ලියේ දොරටුවලට සවි කිරීමට සූදානම් වුණු ‘මෙටල් ඩිඩෙක්ටර්ස්’ යන්ත්‍ර ඉවත් කිරීමට තීරණය කළ බවය. කෙසේ නමුත් ඊශ්‍රායල පලස්තීන ප්‍රචණ්ඩ ක්‍රියා තවමත් සිදුවෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS