චීන ‘සිනොෆාම්’ එන්නත ඉරානයට



චීනයේ ‘සිනෝෆාම්’ එන්නත් මාත්‍රා 2,50,000 ක් තමන්ට ලැබුණු බව ඉරානය පවසයි. ඉරානය සහ චීනය අතරේ සමීප මිත්‍රත්වයක් පවතින අතර, චීන රජය ඉරානයට මෙම එන්නත් තොගය ලබා දී ඇත්තේ පරිත්‍යාගයක් වශයෙනි.

තෙහෙරාන් අගනුවරට ගුවනින් පැමිණි එන්නත් තොගය බාර ගැනීම සිදුවූයේ ඉරාන ආහාර සහ ඖෂධ පාලන අධිකාරියයි. හදිසි තත්ත්වයක් යටතේ එන්නත ඉරාන වැසියන්ට ලබාදීම සුදුසු යැයි තීරණය කළේ ඉරාන ආහාර සහ ඖෂධ පාලන අධිකාරියයි.

‘කොවිඩ් 19’ වයිරසයෙන් දරුණු ලෙස බැටකන මැදපෙරදිග කලාපයට අයත් රාජ්‍යයක් වන්නේ ඉරානයයි. ඉරානයේ ‘කොවිඩ් 19’ මරණ මේ වනවිට 60,000 පසු කර තිබේ. ඉරානයෙන් වාර්තා වූ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන මිලියන 1.6 කි.

ඉරානය මේ වනවිටත් එරට වැසියන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දෙයි. ඒ, රුසියාව නිපදවා ඇති ‘ස්පුට්නික් 5’ එන්නතය. ‘සිනෝෆාම්’ එන්නත ඉරානයට ලැබීමත් සමඟ එරට වැසියන්ට ලැබෙන දෙවැනි විදේශ එන්නත වනු ඇත්තේ මෙය යැයි පැවැසෙයි.

මීට අමතරව, ඇමෙරිකන් සම්බාධක මධ්‍යයේ පවා ඉරාන විද්‍යාඥයන් එරට තාක්ෂණය යොදා ගනිමින් එන්නත් දෙකක් නිපදවා ඇත. එම එන්නත් තෙවැනි වටයේ සායනික අත්හදා බැලීම්වලට යොදා ගනිමින් පවතින බව ද වාර්තා වේ.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත් මාත්‍රා මිලියන 4.2 ක්, ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ඉරානයට ඇත. ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත ඉරානයට ලැබෙන්නේ, ‘කෝවැක්’ එන්නත්කරණ වැඩසටහන යටතේය.

ඊට අමතරව, ඉන්දියාවේ ‘භාරත් බයෝටෙක්’ ඖෂධ ආයතනය නිපදවා ඇති සියයට සියයක් ඉන්දීය නිෂ්පාදනයක් ද වන ‘කොවැක්සින්’ එන්නත ඉන්දියාවෙන් ලබා ගැනීමට ද ඉරානය උනන්දුවක් දක්වයි.

තෙහෙරාන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS