ගෝලාන් කඳුකරයේ අයිතිය ඊශ්‍රායලයට



ඊශ්‍රායලය විසින් බලෙන් අත්පත් කරගත්, සිරියාවේ ගෝලාන් කඳුකරය, ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගැනීමට කාලය උදා වී ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ, දශක ගණනාවක් තිස්සේ ගෝලාන් කඳුකරය සම්බන්ධයෙන් පැවැති ඇමෙරිකන් ප්‍රතිපත්ති වෙනස් කරමිනි.  ඊශ්‍රායලය, ගෝලාන් කඳුකරය අත්පත් කර ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් ඇමෙරිකාවේත් විරෝධයට හේතුවක් වී තිබුණි.

‘ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයට අයත් කොටසක් බව තමන් පිළිගන්නා බවත්, ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ ආරක්ෂාවට වැදගත් ස්ථානයක් බවත් ඇමෙරිකා ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් මගින් පෙන්වා දී ඇත.

ගෝලාන් කඳුකරය ඇත්තේ සිරියාවේ ඩමැස්කස් අගනුවර සිට කිලෝ මීටර් 60 ක් දුරිනි. එය වර්ග කිලෝ මීටර් 1,200 ක ප්‍රදේශයක් පුරා විසිරී පවතී. 1967 වසරේ පැවැති මැදපෙරදිග යුද්ධයේදී, ඉරානය මෙම ගෝලාන් කඳුකරයේ කොටසක් අල්ලා ගත්තේය.

1973 වසරේ පැවැති යුද්ධයේදී සිරියාව එම කොටස යළි මුදා ගැනීමට ඊශ්‍රායලය සමඟ සටන් වැදුණේය. එම යුද ගැටුම් සමතයකට පත් වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙනි. 1981 දී ඊශ්‍රායල නිල වශයෙන් ගෝලාන් කඳුකරය ඔවුන්ට අයිත් ප්‍රදේශයක් ලෙස තීරණය කෙරුණි. එදා සිට මේ දක්වා ඊට ඊශ්‍රායලයේ සමීපතම මිතුරා වන ඇමෙරිකාවෙන් පවා දැඩි විරෝධයක් එල්ල විය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS