ගුවන් සේවයේ ප්‍රධානියා සමාව ඉල්ලයි



කාන්තාවකට තමා කරන රැකියාව කිරීමට නොහැකි බව පැවැසීම සම්බන්ධයෙන් ‘කටාර් එයාර්වේස්’ ගුවන් සමාගමේ ප්‍රධානියා බදාදා (6) සමාව ගත්තේය.

‘කටාර් එයාර්වේස්’ ගුවන් සමාගම ගුවන් සේවා ක්ෂේත්‍රයේ ස්තී පුරුෂ අසමබරතාව ඉවත් කිරීමට ප්‍රතිඥා දී තිබියදී එහි ප්‍රධානියා එලෙස කාන්තාවකට තම රැකියාව කළ නොහැකි බව ප්‍රකාශ කර තිබිණි.

ගෝලීය ගුවන් සේවා සමාගම්වල සහභාගීත්වයෙන් අඟහරුවාදා (5) පැවැති උත්සවයකදී කටාර් එයාර්වේස් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අක්බාර් අල් බාකෙර් කාන්තාවකට තම රැකියාව කළ නොහැකි බව උසුළුවෙන් මෙන් පවසා තිබේ. එහෙත් එම උපහාසය දුර දිග ගොස් දැඩි කතාබහටකටත් මතභේදයකටත් ලක්විය.

සිය ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ගත් අක්බාර් අල් බාකෙර් තම සමාගම ඉහළ ස්ත්‍රී පුරුෂ විවිධත්වයක් පවත්වාගෙන යන බවත් තම කාර්ය මණ්ඩලයෙන් සියයට 44ක් කාන්තාවන් බවත් කීවේය. එයින් ඇතැම් පිරිස් සමාගමේ ඉහළ තනතුරු හොබවන බව ද හෙතෙම කීය. 

“මම එය කීවේ විහිළුවට. එහෙත් එය ඕනාවට වඩා දුර දිග ගියා. මම ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා” යැයි අක්බාර් අල් බාකෙර් සිඞ්නි නුවරදී මාධ්‍යවේදීන් හමුවේ කීය.

හර්ෂණ තුෂාර සිල්වා

(රොයිටර්)


RECOMMEND POSTS