ගුවන් ප්‍රහාරවලින් සිරියා සිවිල් වැසියෝ මරුට



ඉකුත් පැය 24 කාලයේදී එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් සිරියානු සිවිල් වැසියන් 12කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

රුසියානු හමුදා, ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා සහ සිරියානු රජයේ ගුවන් හමුදා  මෙම ගුවන් ප්‍රහාර එල්ල කර ඇතැයි සහන කණ්ඩායම් සහ හමුදා කටයුතු නිරීක්ෂණ කණ්ඩායම් චෝදනා කරයි.

ඉඩ්ලිබ් පළාතේ මාරේට් හර්මෙහ් ගම්මානයට රුසියානු ගුවන් හමුදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් දරුවන් 9 දෙනකු ඇතුළු දස දෙනකු මියගොස් ඇතැයි හමීඩ් නමින් තමන් හඳුන්වා දුන් සිරියානු සිවිල් ආරක්ෂක අංශය නිලධාරියාකු අල් ජසීරා පුවත් සේවයට පවසා ඇත.

''ගුවන් ප්‍රහාරයකින් වැඩිමහල් කාන්තාවක සහ දරුවන් නව දෙනකු මරුමුවට පත්වුණා. එම ප්‍රහාරය එල්ල කරන්නට ඇත්තේ රුසියානු ගුවන් හමුදා. මෙම ප්‍රහාරයෙන් තවත් දස දෙනකු තුවාල ලැබුවා" යැයි හමීඩ් ප්‍රකාශ කර තිබේ.

සිරියානු සිවිල් ආරක්ෂක අංශය සුදු හිස් ආවරණ පැළැඳි කණ්ඩායම ලෙසින් ද හඳුන්වන අතර මොවුහු කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන සිරියානු නගරවල ස්වේච්ඡා සේවයේ යෙදෙති.

මිනිසුන් රැඳී සිටි ගොඩනැගිල්ලකට මෙලෙස ගුවන් ප්‍රහාරය එල්ල වූ බවත් එකවර ප්‍රහාර දෙකක් එල්ල වූ බවත් හමීඩ් සඳහන් කර ඇත. "පළමු ප්‍රහාරයෙන් පසු අපේ මුදාගැනීමේ කණ්ඩායම් ගොඩනැගිල්ලට පිවිසුණා. ඒත් එක්කම තවත් ගුවන් ප්‍රහාරයක් එල්ල වුණා. එම ප්‍රහාරයෙන් අපේ උපකරණවලටත් හානි වුණා. ගිලන් රථයකටත් හානි වුණා. සුන්බුන් යට සිටි දරුවන් තුන් දෙනකු බේරාගැනීමටත් අපට හැකියාව ලැබුණා" යැයි හමීඩ් අල් ජසීර් පුවත් සේවයට පවසා තිබේ.

හර්ෂණ තුෂාර සිල්වා
අල් ජසීරා ඇසුරිනි

 


RECOMMEND POSTS