ගැටුම්වලින් පලා ගිය යේමන සිවිල් වැසියෝ 60 ක් ගිලී මරුට



යේමනයේ පවතින ගැටුම් හේතුවෙන් පණ බේරාගෙන ආරක්ෂාව පතා අරාබි මුහුදේ සොකොට්රා නමැති කුඩා දූපත බලා යමින් සිටි යේමන සිවිල් වැසියෝ 60 දෙනෙක්, ඔවුන් ගමන් කරමින් සිටි කුඩා යාත්‍රාව පෙරැළීමෙන් ගිලී ජීවිතක්ෂයට පත්වූහ.
යාත්‍රාව පෙරැළුණු බව දැනගත් සැණින් එහි සිටි පිරිස් සොයා යේමන වෙරළාරක්ෂක නිලධාරීන් සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ අතර, ඊයේ (7) සවසෙ වන විට ඔවුන්ට මළසිරුරු 23 ක් සොයා ගැනීමට හැකිවිණි.
මුහුදේ ගිලී ගිය පිරිස අතර කාන්තාවන් සහ කුඩා දරුවන් රැසක් ද සිටින බව පැවැසෙයි. සොකොට්රා දූපත පිහිටා ඇත්තේ යේමනයේ සිට කිලෝ මීටර් 80 ක් පමණ දුරින්ය. යේමනයේ සිවිල් යුද ගැටුම්වලින් බේරී පලා යන යේමන වැසියන්ගෙන් මෙම දූපත පිරී පවතින බව ද වාර්තා වේ. සිවිල් වැසියන් පලා යන්නේ යේමනයේ රජය පෙරළා දැමූ හවුති සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් සෞදි අරාබිය දිගින් දිගට ගුවන් ප්‍රහාර එල්ල කරන නිසාය. එසේ එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 11,000 ක් මියගොස් ඇතැයි ද වාර්තා වේ.
 
(ප්‍රෙස් ටීවී)

RECOMMEND POSTS