ගාසා සත්වෝද්‍යානයේ සත්තු ජෝර්දානයට



අපා දුක් විඳිමින් ගාසා තීරයේ සත්වෝද්‍යානයක කූඩු කරනු ලැබ සිටි සතුන් 47 දෙනකු බේරාගෙන, ජෝර්දානයට රැගෙන යෑමට සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ‘ෆෝ පෝව්ස්’ නමැති සංවිධානය මැදිහත් විය.

බේරාගත් සතුන් 47 දෙනා අතරේ සිංහයන්, වඳුරන්, ඉත්තෑවන් සහ මොණරුන් සිටින බව පැවැසෙයි. මොවුන් ජීවත් වූයේ ඊජිප්තු දේශසීමාවට නුදුරින් පිහිටි ‘රෆා’ නමැති සත්වෝද්‍යානයේය. රෆා සත්වෝද්‍යානය ආරම්භ කර ඇත්තේ 1999 වසරේදීය. 

ගාසා තීරයේ පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් සතුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට සත්වෝද්‍යාන බලධාරීන්ට නොහැකි වී ඇත. ගාසා තීරණයේ නිරන්තරයෙන් විදුලිය කැපීම් සිදුවන බැවින් සතුන් උණුසුම දීමට ද ගැටලුවක් වී ඇත. එම විදුලිය කැපීම් සිදු කරන්නේ ඊශ්‍රායලයයි. සත්වෝද්‍යානයට පැමිණෙන නරඹන්නන් සංඛ්‍යාව ද දිනෙන් දින අඩු වෙමින් පවතී. එහෙයින් සත්වෝද්‍යානය පවත්වා ගැනීම ද ගැටලුවක් වී ඇත.

‘ෆෝ පෝව්ස්’ සංවිධානය සතුන් රැගෙන යෑම කර ඇත්තේ නිර්වින්දනය කිරීමෙනි. සතුන් ජෝර්දානයේ සත්වෝද්‍යානවලට රැගෙන ගොස් ඇත්තේ ඊශ්‍රායලය හරහාය. ඒ සඳහා ඊශ්‍රායලයෙන් විශේෂ අවසරයක් හිමිවූ බවත් සතුන් රැගෙන යෑමට අවශ්‍ය සහාය ලබා දුන් බවත් වාර්තා වේ.

සත්වෝද්‍යානයේ ඉතිරි වූයේ කුරුල්ලන් විශේෂ කිහිපයක් පමණක් බව ද පැවැසෙයි. ට්‍රක් රථ පෙළකින් සතුන් රැගෙන යද්දී, ගාසා තීරයේ වැසියෝ එය දැක ගැනීමට මඟ දෙපස රැස් වී සිටි බව ද විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

ගාසා තීරයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS