ග්‍රීක අගමැතිවරයාට තුර්කියෙන් කෙණෙහිලි



තමන් ගමන් කළ හෙලිකොප්ටරය වට කරමින්, තුර්කි ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා, තමන්ට ‘කෙණෙහිලිකම්’ කළේ යැයි ග්‍රීක අගමැති ඇලෙක්සිස් සිප්රාස් චෝදනා කරයි.

ග්‍රීක අගමැති ඇලෙක්සිස් සිප්රාස් හෙලිකොප්ටරයෙන්, ග්‍රීසියේ සිට නැගෙනහිර ඒජියානු දූපතක් වන අගතෝනීසි බලා කරමින් සිට ඇත. ඒ, එම දූපතේ පැවැත්වූ නිදහස් සැමරුමක විශේෂ අමුත්තා ලෙස ඊට සහභාගීවීමටය.

තුර්කි ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා දෙකක් හිටිහැටියේ හෙලිකොප්ටරය වට කළේ එම අවස්ථාවේදීය. හෙලිකොප්ටරයේ වේගය අඩු කරන්නැයි ද එය පහත් කරන්නැයි ද ආදී වශයෙන් ප්‍රහාරක ජෙට් යානා දෙකෙහි නියමුවන් අණ කළේ යැයි ග්‍රීක අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

තුර්කි ප්‍රහාරක ජෙට් යානා, ග්‍රීක අගමැතිවරයා ගමන් කළ හෙලිකොප්ටරය වට කර ඇත්තේ, ග්‍රීක ගුවන් සීමාවට පිවිස, එය උල්ලංඝනය කරමින් යැයි ද චෝදනා එල්ල වී ඇත. ‘තුර්කි ගුවන් හමුදාව කළේ අවශ්‍ය දෙයක් නොවෙයි. ඔවුන් කළේ මහ මෝඩ වැඩක්. කළ යුතු වැඩක් නොවෙයි.’ යැයි අගමැතිවරයා පසුව පැවැසුවේය.

ග්‍රීසිය සහ තුර්කිය අතර අතීතියේ එදිරිවාදිකම් පැවැතිණි. අතීතයේ තුර්කිය කේන්ද්‍රකොට ගනිමින් පැවැතියේ ඔටෝමාන් අධිරාජ්‍යයයි. මුස්ලිම් ඔටෝමාන් අධිරාජ්‍යය යුරෝපා රටවල් සමඟ යුද වැදුණේය. ආක්‍රමණය කළේය. 1821 වසරේ දී, ග්‍රීසිය ඔටෝමාන් අධිරාජ්‍යයට එරෙහි සටන් කළා පමණක් නොව, ඔටෝමාන් ආක්‍රමණිකයන් පලවා හැරීමට ද සමත් විය. අගතෝනීසි දූපතේ නිදහස් දින සැමැරුම පැවැත් වූයේ ද ඒ නිමිත්තෙනි.

අතීතයේ පැවැති එම එදිරිවාදිකම් යළි සිහිපත් කරමින් තුර්කි ගුවන් හමුදාව නිදහස් දින සැමැරුමට යමින් සිටි තමන්ට ‘කෙණෙහිළිකම්’ කළ බව නිදහස් දින සැමරුමේ විශේෂ අමුත්තා ලෙස කතාවක් පවත්වමින් අගමැති ඇලෙක්සිස් සිප්රාස් වැඩි දුරටත් කියා සිටියේය.
අගමැතිවරයා එල්ල කරන චෝදනා සම්බන්ධයෙන්, තුර්කිය පවසා ඇත්තේ තම ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා සාමාන්‍යයෙන් සිදුකරන සෝදිසි මෙහෙයුමකට සම්බන්ධ වී සිටි බවත්, එම අවස්ථාවේදී ඔවුන්ට හෙලිකොප්ටරය හමුවී ඇති බවත්ය.

ඔටෝමාන් අධිරාජ්‍යය පැවැති සමයේ තුර්කිය සහ ග්‍රීසිය අතර පැවැති එදිරිවාදිකම්, මඟහැර ගැනීමටත්, දෙරට අතර හොඳහිත වර්ධනය කර ගැනීමටත් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ට හැකිවිය. ඒ, 2017 වසරේ, ග්‍රීසියේ සංචාරයකට පැමිණි අවස්ථාවේදීය. මේ අයුරින්, තුර්කි රාජ්‍ය නායකයකු ග්‍රීසියේ සංචාරයකට පැමිණියේ වසර 65 කට පසුවය.

ඇතන්ස්හිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS