ගල්ෆ් මුහුදේ තෙල් නැව් ආරක්ෂා කරනවා



හෝමූස් සමුද්‍ර සංධිය දෙපස පිහිටි පර්සියන් ගල්ෆ් මුහුදේ සහ අරාබි මුහුදේ යාත‍්‍රා කරන තෙල් නැව්වල ආරක්ෂාව තහවුරු කිරීමට තමන් කැපවී සිටින බවත්, බි‍්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාවේ සහාය ඒ සඳහා ලබා ගන්නා බවත් ඇමෙරිකාව පවසයි.

ඇමෙරිකාව වෙනුවෙන් මේ බව කියා සිටියේ, ඇමෙරිකා මාණ්ඩලික ප‍්‍රධානියා ලෙස ධවල මන්දිරය විසින් නම් කළ ජනරාල් මාර්ක් මිලේය. ජනරාල්වරයා මැදිහත් වී, ගල්ෆ් කලාපීය රටවල් එක් කර ගනිමින්, ගල්ෆ් මුහුදේ යාත‍්‍රා කරන තෙල් නැව්වල ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ නාවික බළඇණියක් පිහිටුවීමට ද ඇමෙරිකාව සූදානම් වන බව වාර්තා වේ.

ගල්ෆ් මුහුදු සීමාවේ, යාත‍්‍රා කරන තෙල් නැව්වලට ආරක්ෂාවක් සැපයීමට ඇමෙරිකා සහ බි‍්‍රතාන්‍ය නාවික හමුදාවට සිදුවී ඇත්තේ ඉරානයෙන් එල්ල වන තර්ජන නිසාය. පසුගිය 10 වැනිදා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත‍්‍රා කරන්න වූ බි‍්‍රතාන්‍යයට අයත් තෙල් නැවක් වට කරමින් එය අත්පත් කර ගැනීමට කුඩා නාවික යාත‍්‍රා පහක් උත්සාහ කළේය.

මෙම යාත‍්‍රා ඉරාන විප්ලපීව හමුදාවට අයත් යාත‍්‍රා යැයි බි‍්‍රතාන්‍යය චෝදනා කරයි. එම යාත‍්‍රාවලින් පැමිණි සන්නද්ධ පිරිස් බි‍්‍රතාන්‍ය තෙල් නැව අත්පත් කර ගැනීමට උත්සාහ ගනිද්දී, බි‍්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් යුද නැවක් එම පිරිස් පලවා හැරියේය. මොන්ට්‍රෝස් නමැති එම යුද නැව තෙල් නැවට ආරක්ෂාව ලබා දීමට පැමිණි එකක් විය.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS