කොරෝනා පැතිරීම වැඩි වුණොත් යළි සීමා දැඩි කරයි



කොරෝනා ආසාදිතයන් 495 දෙනකු ඊයේ (08) දිනයේ දී පමණක් ඊජිප්තුවෙන් වාර්තා වූ අතර එය දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ද වෙයි.

ඊජිප්තුවේ සෞඛ්‍ය ආමාත්‍යාංශය පවසන්නේ මේ වනවිට කොරෝනා හේතුවෙන් මරණ 500කට වැඩි ප්‍රමාණයක් සිදුව ඇති බවයි. තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 8,476ක් වන අතර සිකුරාදා (08) දිනයේ පමණක් මරණ 21ක් සිදුව තිබිණි. ඒ අනුව සම්පූර්ණ මරණ සංඛ්‍යාව 503ක් දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය මාසයේ රාමසාන් උත්සව ආරම්භ වූ බැවින් කොරෝනා වසංගතය මැඩලීම සඳහා පනවා තිබූ ඇතැම් සීමාවන් ලිහිල් කරමින් රාත්‍රී කාලයේ දී පමණක් ඇඳිරිනීතිය පැනවීමට ද ක්‍රියා කළේය.

කෙසේ වෙතත් ජුනි මාසයේ දී රට යළි යථාතත්ත්වයට පත්කිරීමට අපේක්ෂා කරන බවත් ආසාදනය වූ පුද්ගලයන් වැඩි වුවහොත් නැවත වතාවක් සීමා දැඩි කිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය බලධාරීන් පවසයි.

ජනාධිපතිගේ සෞඛ්‍ය උපදේශකයකු ව ආවාඩ් ටැග් එල්-ඩින් කියා සිටියේ ආසාදිතයන් හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණ 100,000ක් සිදුකර ඇති බවයි.


RECOMMEND POSTS