කොරෝනා පාලනයට තහංචි රැසක්



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමේ අරමුණින්, සෞඛ්‍ය අංශ සමඟ එක් වෙමින්, තහංචි රැසක් ක්‍රියාත්මක කරන බව ඉරාන ජනාධිපති හසන් රොව්හනී පවසා තිබේ.

ඉරාන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමිනි. ඉරානයේ ප්‍රාන්ත 46 ක පළාත් 31 කට දැඩි සංචරණ සීමා පැනවෙන බව ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

සිනමාහල්, අවන්හල්, ශරීර සුවතා මධ්‍යස්ථාන ආදී සියල්ල වසා දැමීමට ද පියවර ගන්නා බව ජනාධිපතිවරයා පැහැදිලි කළේය. පාසල් වසා දමා ඇති බැවින් අධ්‍යාපන කටයුතු අන්තර් ජාල සේවා ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට පවත්වා ගෙන යෑමට ද ඉරාන ජනාධිපති රොව්හානී වැඩි දුරටත් පවසා ඇත. ඉරාන ජනාධිපති රොව්හානී රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමැතුවේ, මුහුණු ආවරණයක් ද පැලඳගෙනය.

ඉරාන සෞඛ්‍ය බලධාරීන්ට අනුව, එරට දැන් ඔඩුදුවමින් පවතින්නේ කොරෝනා වයිරසයේ තෙවැනි රැල්ලය. මැදපෙරදිග රටවල් අතරින් කොරෝනා උවදුර දරුණු ලෙස ව්‍යාප්ත වූ රට ඉරානයයි. මුහුණු ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය රැක ගැනීම සහ දෑත් නිතර පිරිසුදු කිරීම සම්බන්ධයෙන් ඉරාන වැසියන් සැලකිලිමත් විය යුතු යැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඉරානය‍ කොරෝනා වසංගතයට මුහුණ දෙන්නේ ඇමෙරිකන් සම්බාධක මධ්‍යයේය. සම්බාධක හේතුවෙන් ඉරාන සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම අඩපණ වී ඇති බව පැවැසෙයි. ඉරාන පාර්ලිමේන්තුවේ හරි අඩකට ද කොරෝනා ආසාදනය වී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉරානයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන  6,12,772 ක් වන අතර සමස්ත මරණ වාර්තා වන්නේ 34,864 ක් ලෙසිණි. වයිරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 4,81,930 කි.

තෙහෙරාන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS