කුවේටයේ ආරක්ෂාව තර කෙරේ



එළැඹෙන රාමදාන් උත්සවයට පෙර කුවේට් රාජ්‍ය තුළ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ගල්ෆ් කලාපීය බුද්ධි අංශය විසින් අනතුරු හැඟවීමත් සමඟ කුවේට් හි අවධානම් සහගත බවක් මතුවී ඇති බව විදෙස් ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව කුවේට් ආරක්ෂක අංශ විසින් එරට ආරක්ෂක යාන්ත්‍රණය දැඩි කිරීමට තීරණය කර ඇති අතර දේශ සීමා පිවිසුම් ස්ථානවල ආරක්ෂාවද වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි කුවේට් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වකවානුව තුළ අයි.එස් ත්‍රස්තයන් යැයි සැකපිට කිහිප දෙනෙකුම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම ත්‍රස්තයින් සමඟ සම්බන්ධතා පැවැත්වූ එරට වැසියන්ද කිහිප දෙනෙකු ආරක්ෂක අංශ රැහැනට හසුකරගෙන තිබේ.

එමෙන්ම, ත්‍රස්ත ප්‍රහාර එල්ලකළ හැකි යැයි සිතන අයි.එස් ත්‍රස්තයින්ගේ ඡායාරූපද දේශ සීමා පිවිසුම් ස්ථාන හා අනෙකුත් ආරක්ෂක ස්ථානවලට ආරක්ෂක අංශය විසින් බෙදා හැර තිබේ.

තහනම් භාණ්ඩ රැගෙන යාම වැළැක්වීම සදහාත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කුවේට් රේගුව මේ වනවිටත් කටයුතු දියත්කර තිබෙන අතර හැකි සෑම ක්‍රමවේදයකින්ම එරට ආරක්ෂණ යාන්ත්‍රණය ශක්තිමත් කරමින් ආරක්ෂාව තර කිරීමට කටයුතුකර ඇති බව කුවේට් මාධ්‍ය වැඩිදුරටත් සඳහන්කරයි.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS