කුර්දිස්ථානයේ ජනමත විමසුම 25 වැනිදා



ඉරාක රජයේ විරෝධය නොතකා කුර්දිස්ථාන පළාතේ ජනමත විමසුම පවත්වනවා යැයි එම පළාතේ නායකයා ලෙස කටයුතු කරන මසූඞ් බර්සානී කියයි.

ඉරාකය සුන්නි, ෂියා සහ කුර්දි වශයෙන් බෙදී වෙන් වී ඇති රාජ්‍යයකි. කුර්දිවරුන් ජීවත් වන්නේ කුර්දිස්ථානයේය. කුර්දිස්ථානය ඉරාකයේ කොටසකි.

කුර්දිස්ථාන වැසියන් බහුතරයකගේ ඉල්ලීම වී ඇත්තේ කුර්දිස්ථානය වෙනම රටක් ලෙස ඉරාකයෙන් වෙන්වී සිටීමටය. ඒ වෙනුවෙන් ජනමත විමසුමක් පැවැත්වීමට කුර්දි වැසියන් කුර්දිස්ථාන බලධාරීන්ට බල කර ඇත.

‘මට කළ හැකි දෙයක් නැහැ. ජනතාවගේ ඉල්ලීමට හිස නමන්න සිද්ධ වෙනවා.’ යැයි මසූඞ් බර්සානී මාධ්‍ය හමුවේ පවසා ඇත.

මීට ඉරාක අගමැති හයිදර් අල් අබාදී පමණක් නොව, අසල්වැසි ඉරානයත්, තුර්කියත් විරෝධය පළ කර තිබේ. ඉරාක අගමැතිවරයා පවසා ඇත්තේ කුර්දිස්ථානයේ ජනමත විමසුමක් පැවැත්වීම, ඉරාක ව්‍යවස්ථාවට පටහැනි බවය.

කුර්දිස්ථානයේ ජනමත විමසුමක් පැවැත්වීමෙන් සිදුවන්නේ නව අර්බුදයක් නිර්මාණය වීම බවටත්, එය මහා ලේ වැගිරීමක් වනු ඇති බටත් ඉරාක අගමැතිවරයා අනතුරු ඇඟවීමක් ද කර ඇත.

ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී, එක්සත් ජාතින්ගේ මහ සමුළුවට සමගාමීව, ඉරාක, ඉරාන සහ තුර්කි නියෝජිතයන් එක් වී, මෙම ජනමත විමසුම පැවැත්වීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූ බව ද වාර්තා විය. එහිදී තුර්කිය තරයේ කියා සිටියේ, කුර්දිස්ථානය වෙනම රාජ්‍යයක් බවට පත් කිරීම නීතිවිරෝධී බවය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS