කුර්දිවරුගේ සහායට සිරියානු හමුදාව එයි



උතුරුදිග සිරියාවේ කුර්දිවරුන්, සිරියානු රජය සමඟ සාකච්ඡා පනත්වා එකඟතාවක් ඇති කර ගැනීමත් සමඟ තුර්කි හමුදාවෙන් එල්ල වන ප්‍රහාරවලට මුහුණ දීමට කුර්දිවරුන්ට සිරියානු හමුදාවේ සහාය හිමිවී ඇතැයි පැවැසෙයි.

කුර්දිවරුන්ගේ පාලනය යටතේ පවතින පළාත් ඇත්තේ සිරියාවේ උතුරු දෙසින්, තුර්කියට මායිම් වන්නටය. සිරියානු අර්බුදයට පාර්ශ්ව කීපයක් සම්බන්ධ විය. ඔවුන් සැමගේ පොදු සතුරා වූයේ අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයයි.

ඇමෙරිකාවේ සහාය හිමිවූයේ කුර්දි සටන්කාමීන් නියෝජනය කරන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බළකායටය. අයි.එස්. ත්‍රස්තයන් මර්දනය කිරීමෙන් පසු උතුරුදිග සිරියාවේ පළාත්වල සිටි ඇමෙරිකන් සොල්දාදුවන් ආපසු ගෙන්වා ගැනීමට ඇමෙරිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කරයි.

ඒ අනුව, සිරියානු අර්බුදයේ දී සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දෙන තුර්කිය කුර්දි සටන්කාමීන් සහ කුර්දි වැසියන්ට එරෙහිව මෙහෙයුම් ඇරැඹීය.

සතියක පමණ කාලයක පටන් තුර්කි හමුදා දිගට හරහට කුර්දිවරුන් ඉලක්ක කර ගනිමින් පහර දෙයි. එසේ පහර​ දෙද්දී, කුර්දිවරුන්ගේ සිරකඳවුරක රඳවා සිටි අයි.එස්. ත්‍රස්තවාදීන් 800 ක් පලා ගිය බවත්, එම 800 දෙනා අතර ඇමෙරිකාව විසින් අල්ලා ගනු ලැබ සිටි දරුණු අයි.එස්. ත්‍රස්තවාදීන් සිටින බව ද පැවැසෙයි.

කුර්දි සටන්කාමීන්, බෙදුම්වාදීන් සහ ත්‍රස්තවාදීන් ලෙස තුර්කිය සලකයි. ඒ, සිරියා තුර්කි දේශසීමාවේ පළාත් රැසක් බලෙන් අත්පත් කර ගැනීමට එම සටන්කාමීන් උත්සාහ ගැනීමත් නිසාය. තුර්කියේ පසුගිය කාලයේ බෝම්බ පිපිරවීම් කළේ ද මෙම කුර්දි සටන්කාමීන්ය.

(බී.බී.සී.)


RECOMMEND POSTS