කුර්දි සටන්කාමීන් අමාරුවේ දමන්නේ නෑ



ඇමෙරිකන් හමුදා, සිරියාවෙන් පිටත්ව ගිය පසු, ඇමෙරිකන් හමුදාවට සහාය දැක්වූ කුර්දි සටන්කාමීන්ට කිසිදු අනතුරක් වීමට ඉඩ නොතබන බව ඇමෙරිකා රජය වෙනුවෙන් එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ සහතික වී ඇත.

ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා මේ බව කියා සිටියේ ඉරාකයේ කුර්දිස්ථානයට ගොස් කුර්දි නායකයන් හමුවෙමිනි. කුර්දිස්තානය යනු ඉරාකයේ ස්වයං පාලන ප්‍රදේශයකි. ස්වයං පාලන ප්‍රදේශයක් වුවත් කුර්දිස්තානය අයත් වන්නේ ඉරාකයටය.

සිරියානු අර්බුදයේ දී ඇමෙරිකාවට සහාය දක්වමින්, කුර්දි සටන්කාමීහු අයි.එස්. ත්‍රස්තවාදීන්ට පමණක් නොව සිරියානු රජයේ හමුදාවට එරෙහිව සටන් වැදුණාහ. අයි.එස්. සාමාජිකයන් පමණක් නොව, කුර්දි සටන්කාමීන් ද ත්‍රස්තවාදීන් ලෙස තුර්කිය සලකයි.

තුර්කිය සිරියාවේ අසල්වැසියකු වන අතර, තුර්කිය සිරියා අර්බුදයට මැදිහත් වී කුර්දි සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහරදීම් කරයි. ඇමෙරිකන් හමුදා සිරියාවෙන් පිටත්ව ගියහොත්, කුර්දි සටන්කාමීන්ට සිරියානු රජයේ හමුදාව පමණක් නොව තුර්කි හමුදාව ද පහර දෙයි. ඇමෙරිකන් හමුදා පිටවී ගිය පසු තමන් ‘අමාරුවේ වැටෙනු ඇතැයි’ කුර්දිවරු පවසා ඇත.

කුර්දිස්තාන නායකයන් හමුවෙමින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ වැඩිදුරටත් පැහැදිලි කළේ ඇමෙරිකන් හමුදා පිටවී ගිය පසු, කුර්දි සටන්කාමීන්ට කිසිවකුගෙන් අනතුරක් සිදුනොවනු ඇති බවත්, කුර්දි සටන්කාමීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඇමෙරිකාව බැඳී සිටින බවත්ය.

 (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS