කුර්දි ජනමත විමසුම ආරක්ෂාවට තර්ජනයක්



ඉරාකයෙන් වෙන්වී වෙනම රාජ්‍යයක් බවට පත් වීමේ අරමුණින් කුර්දිස්තාන වැසියන් පැවැත්වීමට සැරැසෙන ජනමත විමසුම සෘජුව තුර්කියේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව තුර්කි ජාතික ආරක්ෂක මණ්ඩලය පෙන්වා දෙයි.

කුර්දිස්තානයේ ජනමත විමසුම ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. ඒ, ඉරාකයෙන් වෙන්වී වෙනම රාජ්‍යයක් ඇති කර ගන්නවා ද නැද්ද යන්න තීරණය කිරීමටය.

කෙසේ නමුත් එසේ ජනමත විමසුමක් පැවැත්වීම ඉරාක රජයේ ව්‍යවස්ථාවට පටහැනි යැයි ඉරාක අගමැතිවරයා දිගින් දිගටම පෙන්වා දී ඇත.

කුර්දි බෙදුම්වාදීහු තුර්කි රජය සමඟ නිරන්තරයෙන් ගැටුම් ඇති කර ගනිති. තුර්කි රජය සහ ආරක්ෂක අංශවලට ඔවුන් හිසරදයක් වී ඇති අතර ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස ද සැළකෙයි.

මේ අතර පැවැත්වීමට නියමිත එම ජනමත විමසුම සම්බන්ධයෙන් ඉරාක රජය සමඟ සාකච්ඡා පැවැත්වීමට කුර්දි පාලනයේ නියෝජිතයන් පිරිසක් බැග්ඩෑඞ් අගනුවරට පැමිණ ඇතැයි ද ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS