කුමරු වගකිව යුතු බවට යෝජනාවක්



තුර්කියේ සෞදි කොන්සාල් කාර්යාලයේදී සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය වීමේ සිදුවීමට සෞදියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු වගකිව යුතු බවට අමෙරිකාවේ සෙනෙට් මණ්ඩලය හමුවේ යෝජනාවක් සම්මත වී තිබේ.

සෞදි අරාබිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන විශේෂ අමෙරිකානු සෙනට් හමුවක් පසුගියදා පැවැති අතර මෙහිදී සෞදි අරාබියට එරෙහි යෝජනා කිහිපයක් සම්මත වී තිබේ.

අදාළ සිදුවීම පිළිබද සුදුසු වගවීමක් වෙනුවෙන් සෞදි රජය කටයුතු කළ  යුතු බවද මෙහිදී සෙනෙට් මණ්ඩලය තීරණය කර තිබීම විශේෂත්වයකි.

මේ අතර යේමනය වෙත සෞදි අරාබිය එල්ල කරන ගුවන් ප්‍රහාර සඳහා හමුදා සහාය ලබාදීම අත්හිටුවීමටත් මෙහිදී තීරණය කෙරුණි.

විදෙස් හමුදා වෙත සහාය දැක්වීමේ වැඩපිලිවෙලට එරෙහිව යුද බල පනත යටතේ සෙනෙට් තීන්දුවක් ප්‍රකාශ කෙරුණු පළමු අවස්ථාව මෙය වෙයි.

වියට්නාම යුද සමයේදී සම්මත කෙරුණු මේ පනත මඟින් කොන්ග්‍රසයේ අනුමැතියෙන් තොරව විදෙස් රටවල් වෙත අමෙරිකානු හමුදා පිටත් කිරීමට ජනාධිපතිවරයාට ඇති බලාධිකාරිය සීමා කෙරෙයි.

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස්.


RECOMMEND POSTS