කුමන්ත්‍රණය පරදා වසර දෙකයි



තුර්කි රජය 2016 වසරේ ජූලි 15 වැනිදා සිදු වූ හමුදා කුමන්ත්‍රණය පරාජය කර වසර දෙකක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති කාර්යාලය සිකුරාදා (13) විශේෂ උත්සවයක් සංවිධානය කර තිබිණි.

තුර්කි  ජනරජය පෙරළා දමමින් බලය අල්ලා ගැනීම වෙනුවෙන් දියත් කරන හමුදා කුමන්ත්‍රණය සාර්ථකව ව්‍යර්ථ කිරීමට එරට රජය, රජයට හිතවත් ආරක්ෂක අංශ සහ පොලිසිය 2016 වසරේ ජූලි 15 වැනිදා සමත් විය. හමුදා කුමන්ත්‍රණය සාර්ථකව මැඩ පවත්වා වසර දෙකක් සැපිරීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට ජාතික සමගිය හා සහජීවනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි, තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

තුර්කි හමුදාවේ පිරිසක් විසින් දියත් කරනු ලැබූ මෙම හමුදා කුමන්ත්‍රණය අසාර්ථක හමුදා කුමන්ත්‍රණයක් යැයි තුර්කි රජය විසින් නම් කරනු ලැබූ අතර ඊට සම්බන්ධ වූවන් දේශද්‍රෝහීන් ලෙස නම් කරනු  ලැබිණි. තවමත් එම පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙමින් පවතී. ඇමෙරිකාවේ වෙසෙන ෆෙතුල්ලා ගුලාන් මෙම හමුදා කුමන්ත්‍රණය පිටුපස සිටියේ යැයි තුර්කි රජය චෝදනා කරයි.

මෙම උත්සවයේදී මෙරට තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් ප්‍රකාශයක් ද කියවමින් මෙසේ සඳහන් කළේය.

“2016 වසරේ ජූලි 15 වැනිදා සිදු වූ ක්‍රියාදාමයේ මහ මොළකරු ෆෙටෝ සංවිධානයේ ෆෙතුල්ලා ගුලාන් බවට මේ වනවිට සාක්ෂි රැසක් ලැබී තිබෙනවා. කෙරුණු පරීක්ෂණවලදීද ඒ බව අනාවරණය වුණා. කුමන්ත්‍රණයට මෙහෙයවූ පිරිස් 2016 ජූලි 15 වැනිදා සිට ඊට ගුලාන් සමඟ සන්නිවේදන සබඳතා පවත්වා තිබෙන බව ද අනාවරණය වී තිබෙනවා. ෆෙතුල්ලා ගුලාන් සහ ඔහුගේ අනුගාමිකයන් තුර්කි ජනරජය අල්ලා ගැනීමට උත්සාහ කළා. අහිංසක සිවිල් වැසියන්ට එරෙහිව හමුදාව දියත් කිරීමට ඔවුන් පසුබට වුණේ නැහැ. මේ සිදුවීම් දාමය නිසා 251 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. දහස් ගණනක් තුවාල ලැබුවා”.


RECOMMEND POSTS