කැරැලිකරුවන්ට කිසිම සමාවක් දෙන්නේ නෑ



යේමනයේ ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන් ට කිසිදු සමාවක් නොදෙන බව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පවසයි. එමිරේට්ස් රාජ්‍යය මෙසේ පැවැසුවේ, පෙරේදා (17) යේමනයේ ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයෙන් තිදෙනකු මියගොස් තවත් සය දෙනකු තුවාල ලැබීමත් සමඟය.

හවුති කැරැලිකරුවන් නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් පහර දුන්නේ අබුඩාබි ගුවන්තොටුපොළටය. ප්‍රහාරයෙන් ගුවන්තොටුපොළ ඉන්ධන ගබඩාව පුපුරා විනාශ විය. එම පිපිරුමට හසුවී මියගිය තිදෙනාගෙන් දෙදෙනකු අබුඩාබි නුවර සේවය කරමින් සිටි ඉන්දීය ශ්‍රමිකයන් වන අතර අනෙක් තැනැත්තා පාකිස්තාන ජාතික ශ‍්‍රමිකයෙකි.

%යේමන කැරැලිකරුවන්ගේ ප්‍රහාරයෙන් ඉන්දියානුවන් මියයෑම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශෝකය පළ කර ඇති අතර, එක්සත් අරාබි එමිරේස්ට් රාජ්‍යය ආරක්ෂිත තැනක් බව ඉන්දියානුවන්ට අවධාරණය කර තිබේ.
යේමන අර්බුදය ඔඩුදුවන්නේ 2014 වසර අවසානයේ සිටය. ඒ, එවකට පැවැති සෞදි හිතවාදී යේමන රජය හවුති කැරැලිකරුවන් පෙරළා දැමූ අවස්ථාවේදීය.

යේමන රජයේ පාර්ශ්වයට සෞදි හමුදාවේ සහාය යේමන රජයටත් හමුදාවටත් ලැබෙද්දී, යේමන රජයේ හමුදා සහ කැරැලිකරුවන් අතර ගැටුම් නිර්මාණය විය. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය යේමනය යුද්ධයට සම්බන්ධ වූයේ සෞදියට සහාය දැක්වීමක් වශයෙනි.

ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන්ට සහාය දක්වන්නේ ඉරානයයි. ලොව විශාලතම මෙන්ම ප්‍රධානතම ෂියා මුස්ලිම් රාජ්‍යය ලෙස සැලකෙන්නේ ඉරානයයි.

පෙරේදා (17) එල්ල වුණු එම ඩ්‍රෝන ප්‍රහාරය ඉන්දියාව, සෞදිය, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ද හෙලා දැක තිබේ. යේමන අර්බුදය ගැන විශේෂ හමුවක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වීමට ද නියමිතය.

(අල් ජසීරා)


RECOMMEND POSTS