කැනඩා අගමැතිට ලිපියක්



ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර කරමින්, ඇමෙරිකා තානාපති කාර්යාලය ජෙරුසලටම මාරු කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කිරීමත් සමඟ පලස්තීන වැසියන් සහ ඊශ්‍රායල ආරක්ෂක අංශ අතර දරුණු ගැටුම් ඇවිළෙමින් පවතී.

පලස්තීන විරෝධතාකරුවන් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කරන අතර, මේ වනවිට පලස්තීනුවන් බොහෝ දෙනකු එම ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇත.

පසුගිය පළමු වැනිදා, විරෝධතාවල නියැලී තුවාල ලැබූ පලස්තීන වැසියන්ගේ ආධාරයට ගිය පලස්තීන හෙදියක ද ඊශ්‍රායල ආරක්ෂක අංශ කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් වූවාය. ඇය 21 හැවිරිදි රසාන් අල් නජාර්ය.

මෙම සිදුවීම සහ පලස්තීන වැසියන්ට සිදුවන අසාධාරණකම් සහ කෙණෙහිලිකම් සම්බන්ධයෙන්, පලස්තීනයේ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා මෙන්ම වර්තමානයේ ගාසා තීරයේ සිටින ජාත්‍යන්තර සම්බන්ධීකාරකවරයා ද වන බසීම් නායීම්, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝට ලිපියක් යවා ඇත. ඒ සියලු පලස්තීන වැසියන් නියෝජනය වන අයුරිනි. එම ලිපිය මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙමින් ඇත.

හිතවත් අගමැතිතුමනි,
අපට විශ්වාසයි, මේ ලිපිය ඔබ අතට මෙන්ම කැනඩා වැසියන් අතට පත් වේවි.
2015 දී අගමැති ධුරයට පත්වූ දා පටන්, ඔබගේ දේශපාලන ගමන්මඟ ගැන පලස්තීන වැසියන් බොහොම උනන්දුවක් දක්වනවා. ජාතිවාදය බැහැර කරමින්, මනුෂ්‍යත්වය වෙනුවෙන්, නිදහස වෙනුවෙන් හැමෝම එකට ජීවත් විය යුතුයි යන සංකල්පයෙන් ඔබ කටයුතු කරනවා.
ඔබේ රජයත් එසේමයි. වර්ගවාදය, ජාතිවාදයට එරෙහිව සිවිල් අයිතීන් සුරැකීමට ඔබ මෙන්ම ඔබේ රජය කටයුතු කරන ආකාරය ප්‍රසංශනීයයි.
ඔබ සහ ඔබේ රජය පලස්තීනුවන් වෙනුවෙන් දක්වන ලෙන්ගතුකම ගැන අප හොඳින් දන්නවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඔබ අප පලස්තීනුවන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා. ආධාර ලබා දීම සිදු කරනවා. එය බොහොම උදාර කටයුත්තක්.
කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහ සමුළුවේදී, ගාසා තීරයේ පලස්තීන වැසියන්ගේ සෞඛ්‍ය ගැන සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් යැවිය යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් වුණා. අප බොහොම කනගාටුවට පත් වුණා, එම යෝජනාවට එරෙහිව කැනඩාව ඡන්දය ලබා දීම ගැන.
ඔබ එසේ තීරණය කිරීමෙන් පැහැදිලි වන්නේ ඊශ්‍රායල හමුදා අප පලස්තීනුවන්ට හිතුමතේ එල්ල කරන ප්‍රහාර සාධාරණීයකරණය කිරීමක් නොවේදැයි අප ප්‍රශ්න කරනවා.
ටෘඩෝ අගමැතිතුමනි, ඔබ දන්නවාද?, ගාසා තීරයේ ඇති ජලයෙන් සියයට 95 ක් මිනිස් පරිභෝජනයට නුසුදුසු බව. ඔබ දන්නවා ද ගාසා වැසියන්ට විදුලි බලය ලැබෙන්නේ දිනකට පැය 4 ක් බව. ඔබ දන්නවාද ගාසා වැසියන්ට අවශ්‍ය ඖෂධවලින් අප සතුව ඇත්තේ සියයට 50 ක් පමණක් බව. ඒ වගේමයි ඔබ දන්නවාද අපේ වැසියන්ගෙන් සියයට 70 ක් සරණාගතයන් බව. ඔවුන්ගෙන් අඩක් කුඩා දරුවන් බව.
පසුගිය මාර්තු 30 වැනිදා, ගාසා පලස්තීන වැසියන් ඔවුන්ගේ නිදහස වෙනුවෙන් පෙළපාළියකට සහභාගී වුණා. ඊශ්‍රායල හමුදා කළ පහරදීම්වලින් මියගිය ගණන පලස්තීනුවන් ගණන 120 ක්. 14,000 ක් තුවාල ලැබුවා. පලස්තීන වැසියන් බොහෝ දෙනා මරා දැම්මේ ඊශ්‍රායල හමුදාවේ ස්නයිපර් තුවක්කුකරුවන්.
ගාසා තීරයේ වාසය කරන මිලියන ගණනක් පලස්තීනුවන් වෙනුවෙන් මම ඔබට ආරාධනා කරනවා, ගාසා තීරයේ සංචාරයකට පැමිණෙන්න. පලස්තීන වැසියන්ගේ දුක දකින්න. අපට පිහිටක් වෙන්න.

මෙයට විශ්වාසී

බසීම් නායිම්

(අල් ජසීරා)


RECOMMEND POSTS