කාර් බෝම්බයකට සිරියා සිවිල් වැසියෝ 108 ක් බිලි



සිරියානු සිවිල් වැසියන් රැගත් බස් රථ පෙළක්  පසුගිය දා (15) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමෙන් කුඩා දරුවන් සහ කාන්තාවන් ද ඇතුළු 108 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 59 කි.

මරාගෙන මැරෙන බෝම්බකරු පැමිණ ඇත්තේ පුපුරන ද්‍රව්‍ය ඇටවූ මෝටර් කාරයකිනි. ප්‍රහාරයට ලක්වීමෙන් මියගියේ පසුගිය වසර දෙකක කාලය පුරාවට සිරියානු කැරැලිකරුවන්ගේ ග්‍රහණයේ පැවැති නගරවලට කොටුවූ සිවිල් වැසියන්ය.

පසුගිය දා සිරියානු රජය සහ විපක්ෂ කැරැලිකාර පාර්ශ්වය අතර එකඟතාවක් ඇති විය. ඒ අනුව, සිරියානු රජයේ පාලනය යටතේ පවතින නගරවල සිටින සිරියානු විපක්ෂයට සහාය දක්වන වැසියන්ට සිරියානු විපක්ෂය විසින් අත්පත් කරගත් නගරවලට යෑමට ඉඩ ගබා දුන්නේය. එසේම, විපක්ෂ කැරැලිකරුවන්ගේ ග්‍රහණයේ පැවැති නගරවලට කොටුවුණු සිරියානු රජයට පක්ෂ සිවිල් වැසියන්ට ඩමැස්කස් අගනුවර ඇතුළු සිරියානු රජයේ පාලන ප්‍රදේශවලට යෑමට ඉඩ ලැබුණි.

කාර් බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ සිරියානු රජයේ පාලන ප්‍රදේශ බලා යමින් සිටි සිවිල් වැසියන් ගමන් කළ බස් රථ පෙළකටය. එම බස් රථ සපයා තිබුණේ ද සිරියානු රජය විසිනි.  ප්‍රහාරයට ලක් වූයේ සිරියාවේ ෆෝවා නමැති නගරයේ සිට සිවිල් වැසියන් රැගෙන එමින් තිබුණු බස් රථ පෙළකට යැයි සිරියානු රජය පවසා ඇත. එය අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් විය හැකි යැයි සැක කෙරේ.

(රොයිටර්)


RECOMMEND POSTS