කාන්තා පා පැදි තරගය



සෞදිඅරාබියේ කාන්තාවන් සහභාගී වූ ප්‍රථම බයිසිකල් තරඟය පිළිබද සමාජ මාධ්‍ය තුළ මහත් කතා බහක් ආරම්භව පවතී.

එවැනි කාන්තා බයිසිකල් තරඟයක් දක්නට ලැබීම බොහෝ දෙනාගේ පුදුමයට හේතු වී ඇත. පසුගිය අඟහරුවාදා සෞදි කාන්තා බයිසිකල් තරඟය පැවැත්වුනේ 'ජෙඩා නුවරය.

'බී ඇක්ටිව් (Be Active)' ලෙස හැඳින්වෙන කණ්ඩායමක් විසින් තරඟය සංවිධානය කර තිබුණ අතර, කාන්තාවන් හතළිස්‌ හත් දෙනෙක් කිලෝමීටර් දහයක දුරක් බයිසිකල් පැදීමේ නිරතව ඇත. තරඟයට සහභාගී වූ කාන්තාවන්ගේ සංඛ්‍යාව දැක තමා පුදුමයට පත් වූ බව තරඟ සංවිධායක නදීමා අබු අල්-එනීන් පවසන්නීය.

"තරඟයට සහභාගී වීම සදහා සිතුවාටත් වඩා වැඩි කාන්තාවන් පිරිසක් පැමිණි නිසා, අපි මුලින් සැලසුම් කළ උපරිම තරඟකරුවන් ගණන 30 සිට 47 දක්වා වැඩි කරන්න සිදු වුණා. තරඟයට සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටි තවත් බොහෝ දෙනෙකුට අවස්ථාව නොදීමට සංවිධායක මණ්ඩලයට සිදු වුණා" නදීමා පැවසුවාය.

ට්විටර් සමාජ ජාලය තුළ මෙම තරඟය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්නට ලැබුණත් සමහර පුද්ගලයන් කාන්තා බයිසිකල් තරඟය අනුමත කර නැත.

සෞදි අරාබි කාන්තාවන් බයිසිකල් පදින විට මුහුණ දෙන අපහසුතා ගැන 'සයික්ලින් ටුඩේ (Cycling Today)' සමග පැවති සාකච්ඡාවකදී නදීමා පැහැදිළි කළාය. නමුත්, බයිසිකල් පදින කාන්තාවන් දිනෙන් දින වැඩි වෙමින් පවතින බව ඇය පවසන්නීය.

ක්‍රීඩා සදහා වෙන් කළ ප්‍රදේශයක දී, ශරීරය වැසෙන ඇඳුමක් ඇඳ, පුරුෂයෙකුගේ ආරක්ෂාව යටතේ කාන්තාවකට බයිසිකල් පැදිය හැකි බව 2013 වර්ෂයේ දී සෞදි අරාබිය ප්‍රකාශයට පත් කර තිබිණි.

2030 වර්ෂය වන විට විශාල සමාජ වෙනසක් සිදු කිරීම සෞදි බාධාරීන්ගේ සැලැස්මයි.පසුගියදා එරට පළමු ඔපෙරා නෘත්‍ය ශාලාව 'ජෙඩා නගරයේදී විවෘත කෙරිණ.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී


RECOMMEND POSTS