කශොග්ජී මරා වසරයි



සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජීගේ ඝාතනය සිදුවී ඊයේ (2) දිනට වසරක් සපිරෙයි.

කශොග්ජීගේ ගුණ සැමරීමක් සිදු කරමින්, තුර්කියේ ඉස්තාන්බුල් නුවර ඔහු වෙනුවෙන් විනාඩියක නිහඬතාවක් පැවැත්විණි. ඒ, කශොග්ජිගේ පෙම්වතිය වූ තුර්කි ජාතික තරුණියගේ හටීටේ සෙන්ජිස් ප්‍රධානත්වයෙනි.

හටීටේ සෙන්ජිස්ගේ වයස අවුරුදු 37 කි. ඝාතනයට ලක් වෙද්දී, කශොග්ජී 59 වියෙහි පසුවිය. දෙදෙනා විවාහ වීමට සූදානමින් සිටි අතර කශොග්ජී මීය වසරකට පෙර පසුගිය ඔක්තෝබර් දෙවැනි දා තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලට ගියේ පළමු කසාදයේ දික්කසාද ලියවිලි කීපයකට අත්සන් කිරීමටය.

සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වූ කශොග්ජී යළි පිටතට පැමිණියේ නැත. සෞදි ඒජන්තවරුන් පිරිසක් කශොග්ජී ඝාතනය කළ බව පසුව අනාවරණය විය. කශොග්ජීගේ මළ සිරුර හෝ සිරුරේ කොටස් හෝ හමුනොවිණි. ඒවා රසායන දියරයක් යොදා විනාශ කරන්න ඇතැයි පරීක්ෂණවලදී අනුමාන කෙරුණි.

කශොග්ජී ඇමෙරිකාවේ පුරවැසියෙක් ද විය. ඔහු ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ලිපි ලියුවේය. කශොග්ජී, දැඩිව සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු විවේචනය කළේය. ඒ නිසා සෞදි කුමරුන්ගේ අනුදැනුම මත කශොග්ජී ඝාතනය සිදුවුණැයි පැවැසෙයි.

සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජීගේ ඝාතනයේ වගකීම තමන්ට බාර ගැනීමට සිදුවෙනවා යැයි සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු පසුගිය දා ඇමෙරිකාවේ පී.බී.එස්. පුවත් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය. කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් සල්මාන් කුමරුන් අදහස් දැක්වීමක් කළ පළමු අවස්ථාව මෙය විය.

ඉස්තාන්බුල්හිදීය (අල් ජසීරා)


RECOMMEND POSTS