කශොග්ජී මරා දැම්මේ සෞදි රජය



සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය පසුපස සෞදි රජය සිටින බවට තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සෘජුව චෝදනා කරයි.

තුර්කි ජනාධිපතිවරයා මෙසේ චෝදනා කළේ ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අදහස් දක්වමිනි. 59 හැවිරිදි ජමාල් කශොග්ජී ඇමෙරිකන් පුරවැසියෙකි. එපමණක් නොව, ඔහු ද වොෂින්ටන් පෝස්ට් පුවත් සේවයට සම්බන්ධව සිටි මාධ්‍යවේදියෙකි.

‘අපි හොඳින්ම දන්නවා, ඒ වගේමයි පැහැදිලි සාක්ෂි ලැබිලා තියෙනවා, කශොග්ජී මරන්නැයි අණ ලැබී තිබෙන්නේ සෞදියේ රජයේ ඉහළම තැනින්. ඒක ඇත්ත. හැබැයි සෞදියේ සල්මාන් රජුගේ සම්බන්ධයක් ඊට නැහැ’ යැයි තුර්කි ජනාධිපතිවරයා පුවත් සේවය සමඟ පවසා ඇත.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී ජමාල් කශොග්ජී ඝාතනයට ලක් වූයේ පසුගිය ඔක්තෝබර් දෙවැනිදාය. ජමාල් කශොග්ජී දිගින් දිගටම, සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් රජු විවේචනය කළ මාධ්‍යවේදියෙකි. එහෙයින් ඝාතනය සිදුවූයේ සල්මාන් කුමරුන්ගේ අණ පරිදි යැයි සැක කෙරේ.

කොන්සල් කාර්යාලයේ දී කශොග්ජී මරා දැමුණු බව සෞදිය විසින් පිළිගනු ලැබුවේ පසුගිය 22 වැනිදාය. කපා කොටා වෙන් කරන ලද කශොග්ජීගේ සිරුර තවමත් හමුවී නැත. සිරුරු කොටස් සොයා තුර්කිය පමණක් නොව, සෞදි විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් ද තවමත් පරීක්ෂණ පවත්වයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS