කශොග්ජී පෙම්වතිය පරීක්ෂණයක් ඉල්ලයි



ඝාතනයට ලක්වුණු සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුත් පුළුල් පරීක්ෂණයක් පවත්වා, වරදකරුවන්ට දඬුවම් දෙන්නැයි කාශොග්ජී විවාහ වීමට සූදානමින් සිටි කාන්තාව හෙටිස් සෙන්ගිස් ඉල්ලා ඇත.

සෙන්ගිස් මෙම ඉල්ලීම කළේ ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී, ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවෙමිනි. කශොග්ජී සෞදි ජාතිකයකු පමණක් නොව, ඇමෙරිකන් පුරවැසියෙක් ද විය. ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ලිපි සැපැයීය.

කශොග්ජී ඝාතනයට ලක් වූයේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදීය. හෙටිස් සෙන්ගිස් තුර්කි කාන්තාවකි. සෞදියේ ඔටුන්න හිමි කුමරුන් දැඩි ලෙස විවේචනය කිරීම නිසා, කශොග්ජී කුමරුන්ගේ උදහසට ලක්වී සිටි අතර, කුමරුන්ගේ අනුදැනුම පරිදි කශොග්ජී ඝාතනය සිදුවුණු බවට චෝදනා එල්ල වී ඇත.

කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් සල්මාන් කුමරුන්ට එරෙහිව කිසිදු පියවරක් නොගන්නා බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත. ඒ, සෞදිය අමනාප කර ගැනීමෙන් ඇමෙරිකාවට ලොකු පාඩුවක් සිදුවන බව පෙන්වා දෙමිනි.
ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට නොව, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයටය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ට්‍රම්ප්ට බල කර ඇත්තේ මාධ්‍යවේදී කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කළ යුතු බවටය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS