කශොග්ජී ඝාතන නඩුව නිෂ්ප්‍රභ වෙයි



මාධ්‍යාව්දී ජමාල් කශොග්ජී ඝාතනයට සම්බන්ධ යැයි චෝදනා නගමින්, සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුන්ට එරෙහිව පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට ඇමෙරිකන් විනිසුරුවරයෙකු පියවර ගෙන තිබේ.

නඩුව නිශ්ප්‍රභ කළේ වොෂින්ටන් ෆෙඩරල් අධිකරණ විනිසුරු ජෝන් බේට්ස් ය. ඔටුන්න හිමි සල්මාන් කුමරු සෞදි අග්‍රාමාත්‍යවරයා ද වෙයි. සල්මාන් කුමරු ගෞරවණීය රාජ්‍ය නායකයකු බැවින් කුමරුන්ට මුක්තිය ඇතැයි විනිසුරුවරයා නඩුව නිෂ්ප්‍රභ කරමින් පැහැදිලි කර තිබේ.
ජමාල් කශොග්ජීගේ ඝාතනය සිදුවූයේ 2018 වසරේදීය. ඒ වනවිට සල්මාන් කුමරුන්ගේ උදහසට ලක් වී, කශොග්ජී, ඇමෙරිකාවේ වාසය කරන්න විය. කශොග්ජී වොෂින්ටන් පෝස්ට් ඇමෙරිකන් පුවත්පතේ තීරු ලිපි රචකයකු වූ අතර ඔහු තීරු ලිපි පළ කළේ සල්මාන් කුමරු නිර්දය ලෙස විවේචනය කරමිණි.
පළමු විවාහයෙන් දික්කසාද වුණු කශොග්ජී, දික්කසාද ලියවිලි ලබා ගැනීමට, සිය තුර්කි පෙම්වතිය හැටීස් සෙන්ගිග් සමඟ ඉස්තාන්බුල් සෞදි කොන්සල් කාර්යාලයට ගිය අවස්ථාවේදී, ඔහු පැමි‍ණෙන බව කල්තියා දැන සිටි ඝාතන කණ්ඩායමක් කශොග්ජී ඝාතනය කළේ සිරුර සොයා ගැනීමට පවා නොහැකි වන අයුරිනි.
ලොවම කම්පනයට පත් කළ එම ඝාතනය සිදුවූයේ සල්මාන් කුමරුන්ගේ උපදෙස් සහ අනුදැනුම මත යැයි තුර්කි බුද්ධි අංශ පමණක් නොව ඇමෙරිකන් බුද්ධි අංශ ද එම අවස්ථාවේදී සාක්ෂි ඉදිරිපත් කරමින් පැවැසීය.
කශොග්ජී ඝාතනය සිදුවූයේ කුමරුන්ගේ අනුදැනුම යටතේ යැයි චෝදනා නගමින් වොෂින්ටන් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණේ පෙම්වතිය හැටීස් සෙන්ගිග් මැදිහත් වෙමිනි. 
කශොග්ජී ඝාතනය මුල්කොට ගනිමින් තුර්කිය සහ සෞදිය අතරේ ද හිත් අමනාපකම් ඇති වුවත්, මේ වනවිට ඒවා සමතයකට පත් වී තිබේ. ඇමෙරිකාවේ මැදපෙරදිග මිතුරා වන්නේ සෞදියයි. ඇමෙරිකාව කිසිම අවස්ථාවක සෞදියේ සල්මාන් කුමරුන් අමනාප කර නොගන්නා බව විදෙස් දේශපාලන විශ්ලේෂකයන් මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.
(රොයිටර්)

RECOMMEND POSTS